Tuesday, 12 January 2016

ක්‍ෂීරපථය ඡායාරූපගත කරන්නේ කොහොමද?

ගොඩක් දෙනාට ගැටලුවක් වෙලා තියෙන ක්‍ෂීරපථය ඡායාරූප ගත කරන හැටි තමයි මම අද කියන්න යන්නේ. හැබැයි මුලින්ම අපි දැනගෙන ඉන්න ඕන ක්‍ෂීරපථය කියන්නේ මොකක්ද කියල. සහ එය දකින්න පුළුවන් අවස්ථා මොනවාද කියල. මොකද හොඳ නිරීක්‍ෂකයෙකු නොවී හොඳ ඡායාරූප ශිල්පියෙක් වෙන්න බැරි නිසා.
මොකක්ද මේ ක්‍ෂීරපථය?
තාරකා, දූවිලි, වායු හා අනෙකුත් ග්‍රහ වස්තූන් සියල්ල ගුරුත්වාකර්ශණයෙන් එකට බැඳිල තියෙනවා. අන්න ඒ බැඳුනු කොටස් සියල්ලේ එකතුවට අපි මන්දාකිණියක් කියල කියනවා. ඉතින් මේ වගේ මන්දාකිණි විශාල ගණනක් විශ්වය පුරා තියෙනවා. එයින් අපේ පෘථිවිය අයිති මන්දාකිණිය අපි ක්‍ෂීරපථය කියන නමෙන් හඳුන්වනවා.  එය පැතැලි සර්පිලාකාර එකක්. අපි ඉන්නේ එහි දකුණු බාහුවේ කෙලවරක. මෙය පළලින් ආලෝක වර්ශ 100000ක් පමණ වෙනවා. සාමාණ්‍යයෙන් ආලෝකය වසරක් තුල සැතපුම් 5865696000000ක් පමණ ප්‍රමාණයක් ගමන් කරනවා ඉතින් එය ආසන්නව සැතපුම් ට්‍රිලියන 5.9ක් ඒ කියන්නේ ක්‍ෂීරපථය සැතපුම් ට්‍රිලියන 590000ක් විතර තරම් වෙනවා. එය අති විශාල සංඛ්‍යාවක්. වර්තමාන දැනුම අනුව අපේ මන්දාකිණිය සතුව තාරකා බිලියන 200-400ත් අතර සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලි ආලෝක දූෂණයෙන් අඩු රාත්‍රීන් වලදී අපට අපේ මන්දාකිණියේ එනම් ක්‍ෂීරපථයේ උතුරු කොටස දකින්න පුළුවන්.
ඉතිරිය කියවන්න මේ සබැඳියෙන්....
http://sulakkhana.blogspot.com/2016/01/blog-post.html

Monday, 16 November 2015

වසර අවසානයේ පැමිණෙන කැටාලිනා ධූමකේතුව

2013 ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා Catalina Sky Survey නිරීක්‍ෂකයන් විසින් 0.68m තරම් වූ Schmidt-Cassegrain වර්ගයේ ටෙලෙස්කොපයක් මගින් සොයාගත් කැටාලිනා (Catalina) ධූමකේතුව (C/2013 US10) 2015 නොවැම්බර් මස 15 වැනිදා සිට සූර්ය සමීපයෙන් කක්‍ෂ ගතවේ. වසර මිලියනයක කක්‍ෂ කාලයක් අවසන් කරමින් පැමිණන මෙම ධූමකේතුව කිලෝමීටර 20ක පමණ වර්ග ප්‍රමාණයකින් යුක්ත වේ. 2015 නොවැම්බරය වන විට එහි න්‍යෂ්ථිය තත්පරයට කිලෝග්රෑම් 3000ක ප්‍රමාණයක් ඌර්ධවපාතනය කරන්නට පටන්ගනු ඇත.
2015 සැප්තැම්බරයේදී එහි දෘශ්ඨික විශාලත්වය 6ක් පමණ වූ අතර නොවැම්බරයේදී එහි උපරිම දෘෂ්ඨික විශාලත්වය වන 5ක අගයට ලඟාවනු ඇත. ද්විත්ව වලිගයකින් සමන්විත මෙය කොල පැහැති හිසකින් සමන්විතවේ. වලිගයේ දිග සාමාන්‍යයෙන් 800000km තරම් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය 46,400 m/s වේගයෙන් ගමන් කරයි.
 
 
එය දකුණු අර්ධගෝලය ආසන්නයෙන් ගමන් කරන්නේ පියවි ඇසට යාන්තම් පෙනෙන තරම් වූ ප්‍රමාණයෙන් වුවත් ටෙලෙස්කෝපයක් ආධාරයෙන් නිරීක්‍ෂණය කල හැක. ක්‍රමයෙන් උතුරු අර්ධ ගෝලය කරා සමකය හරහා ගමන් කරන බැවින් 2016 ජනවාරි මාසය වෙද්දී එඬේරා (Bootes) තාරකා රටාවේ දීප්තිමත්ම තාරකාව වන Arcturus හරහා ගමන් කරනු ඇත. එම කාලයේදී ධූම කේතුව සිය උපරිම දීප්තියට ලඟාවන අතර පියවි ඇසින් නැරඹිය හැකිවනු ඇත. 2015 දෙසැම්බර් මාසයේ 5 වැනිදා වන විට කන්‍යා රාශියේ Syrma තාරකාව ආසන්නයෙන් ගමන් තරන ධූමකේතුව 2016 ජනවාරි 6 වනවිට Arcturus තාරකාවට අංශකයක් පමණ ආසන්නයට පැමි‍ණේ. උදෑසන 5-6 කාලයේදී දර්ශනය වන මෙම ධූමකේතුව නිරීක්‍ෂණය ඔබට පහසු වනු ඇත.

Friday, 3 April 2015

2015.04.04 චන්‍ද්‍රග්‍රහණය

කට්ටිය උණුහුමේ බලන් ඉන්නේ 2015 අප්‍රේල් මාසේ පේනව කිව්ව චන්‍ද්‍රග්‍රහණය බලන්න වෙන්න ඕන. හැබැයි ඉතින් බලාපොරොත්තු සිඳින්න වෙන්නේ අපට ලංකාවේ ඉඳන් නම් පූර්ණ චන්‍ද්‍රග්‍රහණය බලන්න වෙන්නේ නෑ. බලන්න පුළුවන් වුනොත් වෙන්නේ අවසාන ටික තමයි. ඒකත් නැගෙනහිර අහසට.

සූරුයග්‍රහණයේ හොඳම හරිය පේන්නේ නැගෙනහිර ඔස්ට්‍රේලියාව පැත්තට. අපට පේන්නේ අන්තිම ටික මම ඒ ගැන map එකකුයි අපේ ලංකාවේ වේලාවෙන් ඒ ඒ සිදුවීම් සිදුවෙන වෙලාවයි දාන්නම්. එවිට පුළුවන් හිතාගන්න අපේ රටට මේක පේන්නේ කොයි තරම් දුරකටද කියල.
මෙන්න වෙලාවල් ටික.
ඒ වුනාට නැගෙනහිර අහසේ හඳ පායන්නේ හවස 6.15ට විතර ඒ නිසා හවස 6.40ට විතර අපට චන්‍ද්‍රග්‍රහණයේ අන්තිම ටික තමයි බලන්න වෙන්නේ. ඒ කියන්නේ අපට තියෙන්නේ විනාඩි 30ක වගේ කාලයක් තමයි බලන්න. හවස 6.40 විතර හඳ පෙනේවි මෙන්න මේ ගානට විතර.

Thursday, 12 March 2015

අති විශාල පාරා වළලු සහිත J1407b ග්‍රහයා

සෙනසුරු ග්‍රහයාගේ වළලු මෙන් දෙිය ගුණයක විෂ්කම්භයකින් යුතු වළලු සහිත විශාල ග්‍රහයෙකු සොයා ගැනීමට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. J1407b ලෙස මෙය නම් කර ඇති මෙම ග්‍රහයා පෘථිවියෙන් ආලෝක වර්ෂ 430ක් ඈතින් ඇති තාරකාවක් වටා භ්‍රමණය වේ. එහි විවිධ ප්‍රමාණයෙන් යුතු වළලු 30ක් පමණ ඇතැයි ද මොවුන් පවසයි. නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ මැතිව් කෙන්වර්ති පවසනුයේ එය බ්‍රහස්පති මෙන් 10ගුණයක් - 40 ගුණයක් අතර විශාල විය හැකි බවයි.

ග්‍රහලෝකයේ සිට කිලෝමීටර මිලියන 30කින් පටන් ගන්නා වළලු ග්‍රහයාගේ සිට කිලෝමීටර මිලියන 90ක් දක්වා පරාසයේ පැතිර ඇති බව පවසයි. එමෙන්ම මේ තාක් විශාලව ඇත්තේ දූවිලි වලාවක් බවත් එය රඳවා ගැනීමට ග්‍රහයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000-2000ත් අතර උෂ්ණත්වයක ඇතියිද විශ්වාස කරයි. අප සෙනසුරු වටා ඇති වළලු පද්ධතිය වෙනුවට මෙම වළලු තැබුවොත් එය පෝයදා සඳ මෙන් කීප ගුණයක් විශාලව පියවි ඇසින් දැකිය හැකි බැව් කෙන්වර්ති පවසයි.


මෙම ග්‍රහයා භ්‍රමණය වන තාරකාව වසර මිලියන 16ක් පමණ පැරණිබ බවට හෙළි කරගෙන තිබේ. මෙය පෘථිවියේ හිරුගේ වයස වන බිලියන 4.59 සමඟ සැසදු විට මෙම තාරකාවත් ග්‍රහයනුත් විශ්වයේ බාලයන් ලෙස සැළකේ. මෙම ග්‍රහයා වටා පාරා වළලු ඇති දැයි විද්‍යාඥයින්ට නිශ්චිත දැනුමක් නැති වුවද එය එසේ නම් එම වළලු අනාගතයේදි මෙම ග්‍රහයා වටා චන්ද්‍රයන් බවට පත්විය හැකි යැයි විද්‍යාඥයින් අනුමාන කරති.

Sunday, 8 February 2015

විශ්වයේ මංපෙත් සොයන අහසට ආදරය කරන්නෝ



ලෝකයේ විවිධ රටවල් අභ්‍යවකාශ ගවේශනය, තාරකා නිරීක්‍ෂණය යන දේවල් සඳහා මේ වන විට උනන්දුව වැඩි වෙමින් තිබෙනවා. අභ්‍යවකාශයේ තොරතුරු රැස් කිරීමට යානා යැවීම වැනි කටයුතු කිරීමට තරම් ඉදිරියෙන් සිටින රටවල් අතර අපේ පුංචි රට තවමත් පිටුපසින් සිටීම කණගාටුවට කරුණකි.  මේ අතරේ විදෙස් රටවල් සඳහා ඒ ඒ දේවල් වලට අවශ්‍ය දැනුම සඳහා ලංකාවේ විද්‍යාඥයන්ගේ සහයත් නොඅඩුව ලබා දී  තිබුනත් අප රටේ තාරකා විද්‍යාව වැනි විෂයයක් සඳහා හෝ තාරකා නිරීක්‍ෂණය කියන විෂය සඳහා උනන්දුවෙන පිරිස අඩුය. පාසල් මගින් කොළඹ ග්‍රහලෝකාගාරය නරඹන්න ගෙන ගියායින් පසුව එතැනින් ගන්නා දැනුමින් ප්‍රයෝජන ගෙන රාත්‍රී අහස නිරීක්‍ෂණය කරන අය නම් නැති තරම්ය.

වර්තමානයේ ලංකාවේ ප්‍රධාන නගර වල පාසල් වල තාරකා විද්‍යා සංගම් බිහිවෙලා තිබෙනවා. පාසල් විෂයය මාලාවේ තාරකා විද්‍යාව සඳහා ඉඩක් වෙන්වී තිබීම නිසාවෙන් ඒ ඒ සංගම් මගින් ඒ ඒ පාසල් වල තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වනවා. නමුත් එය සීමිත ලෙස නගරබද පාසල් සංඛ්‍යාවක් සඳහා පමණක් සීමා වී තිබෙනවා. නගරයෙන් ඔබ්බට ගිහින් යුද්ධයෙන් බැට කෑ අම්පාර වැනි ප්‍රදේශයක ආරම්භ වුන "ස්කයි ලවර්ස්" තාරකා සංගමය ඒ අතරේ වෙනස්ම මුහුණුවරක් ගන්න තාරකා විද්‍යා සංගමයක් වී තිබෙනවා. එමගින් දින ‍දෙක තුනක් ගමන් කර අධික වියදමක් දරා ග්‍රහලෝකාගාරය වැනි තැනක සිට ලබන දැනුමට වඩා වෙනස් ලෙස ප්‍රායෝගිකව තාරකා නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

2012.06.06 වන දින සිකුරු සංක්‍රාන්තිය අම්පාරේ පැවැත්වුන කඳවුර සමඟ කරළියට පැමිණි මෙම සංගමය කුඩා කණ්ඩායමක් විදිහට ආරම්භ වෙලා වර්තමානය වෙන විට විවිධ පාසල් වල ප්‍රායෝගික තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වන්නට කටුයුතු සකස් කරමින් සිටිනවා. 2013 වන විට සංගමයේ නිලධාරීන් කීප දෙනා සම්පූර්ණ කරගන්න එකතුවුන පිරිස 6 දෙනෙක්. පාසල් විෂයය නිර්දේශයට අනුව සැකසුන "අපූරු අහස" වැඩසටහන හා "විශ්වයේ මොහොතක්" වැඩසටහන මොවුන්ගේ වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

අම්පාර පොලීසියේ සේවයේ නියුතු අනුර බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු අම්පාර "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය එහි දෙවන අදියර ලෙස පී. එස්. චාමර සුලක්ඛන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල අම්බලන්ගොඩ ශාඛාවක් පිහිටුවා ඔවුන්ගේ වැඩසටහන් රටපුරා සිදු කරමින් තාරකා විද්‍යා දැනුම සමාජයට ලබාදීමට කටයුතු සිදුකරමින් සිටී. "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය මේ වන විට අම්පාර කලාප අධ්‍යාපන කර්යයාලයේ අනුමැතිය සහිතව පාසල් වැඩසටහන් 14කුත්, 2013 අග්නිදිග විශ්ව විද්‍යාල ව්‍යවහාරික විද්‍යා පීඨයේ වැඩසටහනකුත්, 2013 දී ISON වල්ගා තරුව නිරීක්‍ෂණය සඳහා ලංකාවේ එකම නිරීක්‍ෂණ කඳවුරත් සමඟ තවත් විවිධ වැඩසටහන් බොහෝමයක් සිදු කර ඇත.

මේ වැඩසටහන් සඳහා ඔවුන් සතුව අඟල් 3.5 කැසිග්‍රේන් (cassegrain) වර්ගයේ ස්වයංක්‍රීය දුරේක්‍ෂයක් හා අඟල් 4.5 පරාවර්ථක (Newtonian) වර්ගයේ දුරේක්‍ෂයකුත් තිබූ අතර වර්තමානයේ අඟල් 10 පරාවර්ථක (Dobsonian) වර්ගයේ දුරෙක්‍ෂයක් මගින්ද නිරීක්‍ෂණ කඳවුරු පවත්වාගෙන යයි. මේ වන විට කොලඹ ග්‍රහලෝකාගාරයේ හැරුණු විට පාසල් ළමුන් සඳහා විශ්වය නිරීක්‍ෂණයට ඇති විශාලතම දුරේක්‍ෂය මෙම අඟල් 10 පරාවර්ථක දුරේක්‍ෂයයි.
මේ අතරම ලංකාවේ පලමු වරට තාරකා හා ග්‍රහලෝක ඡායාරූපකරණය මගින් සමාජික ජාලයන් හරහා ඡායාරූප පලකරමින් සිටින මෙම තාරකා විද්‍යා සංගමයේ දැනට ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මා, ඩී. එම්. සෙනෙවිරත්න මහතා, පී. එස්. චාමර සුලක්ඛන මහත්මා, කේ. සුජිත් කුමාර මහත්මා, ජී. සී. කේ. ගනේගෙදර මහත්මා හා කේ. එච්. දර්ශන තරංග මහත්මා ක්‍රියාකරන අතර කුඩා සාමාජික පිරිසකගේ සහයද ඔවුන් හා එක්ව තිබේ. මෙවන් පිරිසක් සමඟ නිරතුරු තාරකා නිරීක්‍ෂණයේ යෙදෙමින් තොරතුරු ගවේශණය කරන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය නිරතුරු දැනුම බෙදාදීමට කටයුතු කරමින් සිටී. තාරකා විද්‍යාව සඳහා උනන්දුව ඇති අය එකතු කරමින් තවත් පුළුල් ලෙස මෙම සංගමය ව්‍යාප්ත කිරීමට හා සංගමය ශත්කිමත් කිරීමට නව සාමිජිකයින් බඳවා ගැනීමටද කැමැත්තක් දක්වන මොවුන් සමාජයික ජාලයන් හරහා පිරිස් ලියාපදිංචි කරවා ගනී. මේ සඳහා උනන්දුව දක්වන අය වෙතොත් ‍facebook සමාජයික ජාලය හරහා http://facebook.com/groups/astroampara\ යන වෙබ් ලිපිනයෙන් ලියාපදිංචිය සඳහා විස්තර ලබාගත හැක.

කිසිඳු අනුග්‍රහයක් නොලැබුනද තමන්ගේ වියදමින් සිදුකෙරෙන මෙම සංගමය සඳහා එක් දුරේක්‍ෂයක් බණ්ඩාරවෙල තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ප්‍රදානය කර තිබේ. පාසල් ළමුන්ගේ පුංචි සිත්වල විශ්වය පිළිබඳව කුතුහලය නිසා ඇතිවන ගැටලු සඳහා විසඳුම් දෙමින් මොවුන් කරනා සේවය වෙනුවෙන් අනුග්‍රහය කැමැත්තක් දක්වන අය වෙතොත් facebook පිටුව හරහා හෝ astroampara@gmail.com වේබ් ලිපිනය හරහා හෝ 0779052223 (බණ්ඩාර) දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.