Saturday 17 August 2013

අපේ සෞරග්‍රහ මණ්ඩලය - පළමු කොටස

විශ්වය ගැන විශ්වයේ උපත ගැන පුරාතන කතා වලින් විවිධ වූ අදහස් පලකර ඇති බව අප දනිමු. එහෙත් භෞතික ලෙස හැසිරෙන විශ්වයක් ගැන මුලින්ම සොයාගෙන ඇත්තේ ග්‍රීකයන් විසිනි. ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයා විශ්වය ගැන ඔහුගේ මත වලට මුල් කරගත්තේ සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන් පෘථිවිය වටා ගමන් කරනවා කියන පෘථිවි කේන්‍ද්‍රීය න්‍යායයි. විශ්වය ගැන පෘථිවි කේන්‍ද්‍රීය න්‍යායය පිලිනොගන්නා ග්‍රීක දාර්ශනිකයෝ අතර ඇරිස්ටාකස් දාර්ශනිකයා මුල් තැනක් ගනී. සූර්යයා වටා පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන් භ්‍රමනය වන බව පැහැදිලි කරන, සූර්යය කේන්‍ද්‍රීය න්‍යායය මුලින්ම ඉදිරිපත් කල තාරකා විද්‍යාඥයා වූයේ ඇරිස්ටාකස්ය. ඒ වාගේම ඇල්බට් අයින්ස්ටයින් නැමැති විද්‍යාඥයා ඔහුගේ සාපේක්‍ෂතාවාදය න්‍යාය විශ්වයේ සැකැස්ම පිළිබඳව පැහැදිලි කිරීමට යොදාගන්නා ලදී.
විශ්වයේ ආරම්භය හඳුන්වන්නේ මහා පිපිරුම යනුවෙනි. මේ මහා පිපිරුම යනු විශ්වයේ සියළු පදාර්ථයන් සහ ශක්තිය අසීමිත ඝනත්වයෙන් එක් ලක්‍ෂයක ඒකරාශී වීමෙන් පසු ඇතිවූ අධිබල තාපයෙන් හටගත් මහා පිපිරුමය. ඉන්පසු විශ්වය අද පවතින ස්වරෑපයට පත්වන්නට පටන් ගන්නා ලදී. මුළු විශ්වය පුරාම බලපවතින්නේ සමාන භෞතික විද්‍යාවක්ය. විශ්වය පරිණාමය විය. විශ්වයේ ඉතිහාසයේ සිටම විශ්වයේ පවතින මන්දාකිණි සංඛ්‍යාව වෙනස්වී තිබෙන අතර විශ්වය නිරන්තරයෙන් ප්‍රසාරණය වන බවත් ප්‍රධාන බලය වන්නේ ගුරුත්වයයි. ගුරුත්වාකර්ශණය පිලිබඳ අද තිබෙන න්‍යාය හැටියට පිලිගන්නේ සාපේක්‍ෂතාවාදයයි. විශ්වය මේ වනතෙක් පැවතී ඇති කාලය අවුරුදු බිලියන 13-14ක් පමණ වන බව පිලිගනී. විශ්වයේ විශ්කම්භය අවම වශයෙන් ආලෝක වර්ශ බිලියන 93ක් පමණ වන බවට ගනන් බලා තිබේ. ආලෝක වර්ශ යනු ග්‍රහ වස්තූන් අතර සෘජු දුර මනින මිනුම් ඒකකයයි.
පරමාණු රාශියක් තරු බවට පත්වේ, තරු රාශියක් මන්දාකිණි ලෙස සැකසේ මන්දාකිණි රාශියක් මන්දාකිණි පොකුරු බවටත් අවසානයේදී මහා මන්දාකිණි පවුර වැනි විශාල පදාර්ථයක් බවට පත්වේ. මන්දාකිණි මිලියන 100කට වඩා තිබෙන බව විශ්වාස කරන අතර ඒවා පිහිටා තිබෙන්නේ ආලෝක වර්ශ මිලියන හෝ බිලියන ගනනක දුර පරතරයෙන්වේ. මන්දාකිණි අතර මෙම දුර පරතරය පිරී තිබෙන්නේ ඉති තුනී වායුවකින්ය. මන්දාකිණි වලින් වැඩි සංඛ්‍යාවක් තිබෙන්නේ පොකුරු හැටියටය. රාත්‍රී අහසේ දීප්තිමත් පටියක් ලෙස දිස්වෙන ක්‍ෂීරපඨය අපගේ මන්දාකිණියයි. එය තාරකි විශාල සංඛ්‍යාවකින් සමන්විතයි. මන්දාකිණි ප්‍රධාන වශයෙන් වර්ග 03ක් තිබේ. ඉලිප්සාකාර මන්දාකිණි, සර්පිලාකාර මන්දාකිණි හා අක්‍රමවත් නැතහොත් විශම මන්දාකිණි වශයෙනි. අපගේ ක්‍ෂීරපථය වන මන්දාකිණිය සර්පිලාකාර මන්දාකිණියකි. එහි තාරකා 200 සිට 400 දක්වා සංඛ්‍යාවක් තිබේ. ක්‍ෂීරපථ මන්දාකිණියට ආසන්නතම විශාලතම මන්දාකිණිය ලෙස සලකන්නේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. එය අපගේ මන්දාකිණිය මෙන් හතරගුණයක විශාලත්වයකින් යුක්ත මන්දාකිණියකි. අප මන්දාකිණියේ සිට එයට ඇති දුර ආලෝක වර්ශ මිලියන 2.5ක් පමණ වේ. අප ක්‍ෂීරපථ මන්දාකිණියද ආසන්න වශයෙන් ආලෝක වර්ශ ලක්‍ෂයක පමණ විශ්කම්භයෙන් යුක්තවේ.

 






අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්‍ද්‍රීය තාරකාව සූර්යයායි. පෘථිවිය මත ජීවය පැවැත්මට සූර්යයා අත්‍යාවශ්‍යය. තාපය, ආලෝකය, වලාකුළු, වැස්ස සියල්ල ඇතිවී තිබෙන්නේ සූර්යයා නිසාය. සූර්යයා අපගේ මන්දාකිණියේ අනෙකුත් තාරකා සමඟ සසඳන විට දිස්වන්නේ දීප්තියෙන් අඩු වාමන තාරකාවක් බවට කාලයක් තිස්සේ විශ්වාස කෙරුණු අතර පසුව සොයාගෙන ඇති පරිදි සූර්යයා විශාල හා දීප්තිමත් තාරකාවක්වේ. අපගේ මන්දාකිණිය තුල සූර්යයාට වඩා දීප්තියෙන් හා තාපයෙන් වැඩි තාරකා තිබෙන්නේ ඉතාමත් අඩු ගණනකි. වැඩි වශයෙන්ම තිබෙන්නේ අපගේ සූර්යයාට වඩා දීප්තියෙන් අඩු සිසිල් තාරකා වේ. සූර්යයා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් වායුවල අනුපාතිකයන් අනුව එය ජීවිතයේ අඩක් ගෙවා ඇති තාරකාවක් බව සොයාගෙන ඇත.
සූර්යයා හා ග්‍රහලෝක 8 කින්ද ඒවායේ මෙතෙක් හඳුනාගත් චන්ද්‍රයන් 166කින්ද වාමන ග්‍රහලෝක තුනකින් හා කුඩා ග්‍රහවස්තූන් බිලියන ගණනකින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ. වාමන ග්‍රහලෝක තුන වන්නේ CERES, PLUTO හා ERIS යන ග්‍රහ වස්තූන්ය. ග්‍රහකයන්, කුයිපර් පටියේ ග්‍රහ වස්තූන්, ධූම කේතු හෙවත් වල්ගා තරු, උල්කාවන් කුඩා ගුහ වස්තූන්ට අයත් වේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් 04ක් අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසත්, 04ක් බාහිර ග්‍රහලෝක ලෙසත් හැඳින්වේ. අභ්‍යන්තර ග්‍රහලෝක 04 වන්නේ සූර්යයාගේ සිට ඇති දුර අනුව පිලිවෙලින් බුධ, සිකුරු, පෘථිවිය හා අඟහරු යන ග්‍රහලෝක 04යි. යෝධ වායුමය බාහිර ග්‍රහලෝක 04 වන්නේ සූර්යයාගේ සිට ඇති දුර අනුව පිලිවෙලින් බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහලෝකයන්ය. ග්‍රහලෝක 08න් 6 කටත් වාමන ග්‍රහලෝක 03න් දෙකකටත් එම ග්‍රහලෝක වටා පරිභ්‍රමණය වන චන්‍ද්‍රයන් සිටී.

දෙවැනි කොටසට..............