Saturday 23 November 2013

අපේ සෞරග්‍රහ මණ්ඩලය - දෙවන කොටස

සූර්යයාගේ සිට 5800000km පමණ දුරින්, සූර්යයාට සමීපතම සහ අප සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වන බුධ ග්‍රහයාගේ සමක විශ්කම්භය 4879km කි. එහි ආවාටයන් හැරුණු විට අප මෙතෙක් දන්නා එකම භූ විද්‍යා ලක්‍ෂණය වන්නේ එහි ඉතිහාසයේ මුල්ම අවධියේ හැකිලුම් කාල පරිච්‍ඡේදයේ ඇතිවූ යැයි සිතිය හැකි රැලි ගැසුනු ගැටිතිය. බුධ ග්‍රහයාට තිබෙන්නේ ඉතාමත් තුනී වායුගෝලයක් නිසා සූර්යයාගෙන ගලන අඛණ්ඩ ආරෝපිත අංශු ප්‍රවාහයන් එහි පෘෂ්ඨයට කෙලින්ම පතිතවේ. බුධ ග්‍රහයාට සූර්යයා වටා එක් වටයක් පරිභ්‍රමණය වීමට පෘථිවි දින 59ක කාලයක් ගතවේ. බුධ ග්‍රහයා චන්ද්‍රයන් නොමැති ග්‍රහයෙකි.
සූර්යයාගේ සිට ඇති දුර අනුව දෙවැනි ග්‍රහලෝකය වන සිකුරු ග්‍රහයා විශාලත්වය අනුව පෘථිවියට වඩා ක්‍රඩා වන්නේ මඳ වශයෙනි. සිකුරු ග්‍රහයාගේ සමක විශ්කම්භය 12103km පමණ වේ. සූර්යයාගේ සිට සිකුරු ග්‍රහයාට ඇති දුර 10800000km පමණ වේ. එහි වායුගොලය පෘථිවියට වඩා 90 ගුණයක් පමණ ඝණවේ. චන්ද්‍රයන් නොමැති ග්‍රහලොවක් වන සිකුරු ග්‍රහයා දිවා කාලයේදී 400°C කට අධික උෂ්ණත්වයෙන් යුත් පෘෂ්ඨයක් සහිත ග්‍රහලොවකි. සිකුරු ග්‍රහයාගේ වායුගෝලය නිරන්තරයෙන් ගිණිකඳු පිපිරීම් වලින් කැලඹී තිබේ. සිකුරු ග්‍රහයා සූර්යයා වටා එක් වටයක් ගමන් කිරීමට පෘථිවි දින 225ක කාලයක් ගන්නා අතර එහි අක්‍ෂය වටා භ්‍රමණය වීමට පෘථිවි දින 243ක කාලයක් ගනී. අප ඉරබටු තරුව උදා තරුව ලෙස හඳුන්වන්නේ මෙම ග්‍රහලොකයයි.
අභ්‍යන්තර ග්‍රහලෝක අතරින් විශාලතම ග්‍රහලෝකය වන පෘථිවිය ජීවය තිබෙන බවට අප දන්නා එකම ග්‍රහලෝකයයි. සූර්යයාගේ සිට ඇති දුර අනුව තෙවන ස්ථානය ගන්නා පෘථිවිය 12756km තරම් සමක විශ්කම්භයෙන් යුක්තයි. සූර්යයාගේ සිට ඇති දුර 15000000km පමණ වේග පෘථිවි වායුගොලය අනෙක් ග්‍රහලෝකයන්ගේ වායුගොල වලට වඩා බෙහෙවින් වෙනස්ය. එහි 78% නයිට්‍රජන්ද, 21%ක් ඔක්සිජන්ද තිබේ. පෘථිවය සූර්යයා වටා එක් වරක් යාමට (පරිභ්‍රමණය වීමට) දින 365.25ක් ගත කරන අතර තම අක්‍ෂය වටා එක් වරක් යාමට (පරිභ්‍රමණය වීමට) පැය 24ක කාලයක් ගත කරයි. පෘථිවියේ පැතිරුණු චුම්භක පරාසය හා වායුගොලය සූර්යයා හා වෙනත් තාරකා වලින් එන හානිකර කිරණ සියල්ලෙන්ම පාහේ එහි ජීවය ආරක්‍ෂා කරගනී. පෘථීවි වායුගෝලය නිසාවෙන් එය කරා පැමිණෙන බොහෝ උල්කාවන් එහි පෘෂ්ඨයට වැදීමට කලින් අක්‍රීය කරනු ලැබේ. පෘෂ්ඨය මත හා වායුගෝලය තුල දියරමය ජලය විශාල ප්‍රමාණයක් තිබෙන සෞරග්‍රහ මණ්ඩලයේ එකම ග්‍රහලෝකය පෘඨිවියයි. පෘථිවියද සූර්යයා වටා ගමන් කරන අතර එක් පැත්තකට අංශක 23.5° ක් ආනතව පිහිටා ඇති බැවින් සෘතු වෙනස ඇතිවේ. අප ජීවත්වන්නේ වායුගෝලය පතුලේ ඇති පරාවර්තී ගොලය නම් වායු ස්ථරයකය. පෘථිවිටය උපග්‍රහයෙක් හෙවත් චන්ද්‍රයෙක් සිටී. අප සෞරග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග්‍රහලෝක අතිරින් විශාලතම චන්ද්‍රයා පෘථිවියට අයත් චන්ද්‍රයාවේ.
සූර්යයගේ සිට ඇති දුර අනුව සිව්වැනි ග්‍රහලොව වන අඟහරු ග්‍රහයා පෘථිවියට හා සිකුරු ග්‍රහයාට වඩා කුඩා ග්‍රහලෝකයකි. අඟහරුගේ සමක විශ්කම්භය 6793km පමණ වන අතර සූර්යයාසේ සිට 22800000km පමණ දුරින් පිහිටා තිබේ. අප රතුග්‍රහයා ලෙස හඳුන්වන්නේ මෙම අඟහරු ග්‍රහලොවයි. අති විශාල ගිණිකඳු පැළුම් සහිත මිටියාවත් තැනින් තැන දැකිය හැක. මෙහි පෘෂ්ඨය අනුව ඉතාමත් මෑතක් වන තුරුම භූ විද්‍යා ක්‍රියාකාරීත්වයක් එහි පැවතුනු බව සිතිය හැකිවේ. එහි රතු පැහැය ඇතිවන්නේ යකඩ බහුල පසෙහි මළකඩ වලින්වේ. අඟහරු ග්‍රහලොවේ ඇති තුනී වායුගෝලය බොහෝසෙයින් සමන්විත වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුවෙනිත එය 95.32% ක්ද ඊට අමතරව නයිට්‍රජන් 2.7% ක්ද කාබන් 1.6% ක්ද ඔක්සිජන්, නියෝන් හා ජලය ඉති සුළු ප්‍රමාණයක්ද අගහරුගේ වායුගොලයේ තිබේ. අතීතයේ වඩාත් ඝණ වායුගෝලයක් අගහරු ග්‍රහයාට තිබුණු බවටත් එහි පෘෂ්ඨය මත ජලය ගලා ගිය බවටත් සිතිය හැකි සාධක සොයාගෙන තිබේ. අඟහරුට සූර්යයා වටා එක් භ්‍රමණයක් සඳහා පෘථිවි දින 687ක් ගතවන අතර එහි අක්‍ෂය වටා වරක් භ්‍රමණය වීමට පැය 25කට ආසන්න කාලයක් ගතවේ. අඟහරු ග්‍රහයාට ඩීමෝස් (DEIMOS) හා ෆෝබෝස් (PHOMOS) නමින් චන්ද්‍රයන් දෙදෙනෙකු සිටී. අඟහරු ග්‍රහයා හා බ්‍රහස්පති ග්‍රහයා අතර සූර්යයා වටා ගමන්ගන්නා ග්‍රහවස්තු සහිත පටියක් වන අතර එය ග්‍රහක පටිය ලෙස හැඳින්වේ. ඒ ග්‍රහලෝක ලෙස ගත නොහැකි ක්‍රඩා පාෂෘණ කැබලි හා ලෝහ වලින් සෑදුනු ග්‍රහවස්තූන්ය. විශාල ග්‍රහකයනිගේ විශ්කම්භය 100km පමණ වේ. ඇතැම් ග්‍රහකයන් ඉතා කුඩාවේ. එහි ඇති ග්‍රහකයනි සියල්ල එක් කල හොත් අප චන්ද්‍රයාගේ විශ්කම්භයෙන් අඩකටක් වඩා අබු ප්‍රමාණයක් ගනී. 240km හා ඊට වැඩි විශ්කම්භයෙන් යුතු ග්‍රහකයන් 15ක් පමණ තිබේ. ඒවා පෘථිවි කක්‍ෂයේ සිට සෙනසුරු ග්‍රහයාගේ කක්‍ෂෙයන් ඔබ්බට විහිදී තිබේ. කෙසේ වුවත් ග්‍රහකයන් බොහෝමයක් විහිදී තිබෙන්නේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන් අතර වූ ග්‍රහක පටියේ වේ. අතීතයේ සමහර ග්‍රහකයන් පෘථිවිය සමඟ ගැටී තිබේ. ඩයිනෝසරයන්ගේ වඳවී යාමටත් එවැනි ග්‍රහකයක් හේතු වූ බවට විස්වාස කරයි. මෙම ග්‍රහක පථයේ විශාලතම ග්‍රහක වස්තුව සීරීස් (CERES) ය. එය වර්ග කර තිබෙන්නේ වාමන ග්‍රහකයක් ලෙසටය. එය 1000km කට මඳක් අඩු විශ්කම්භයෙන් යුක්ත වේ.
අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති ග්‍රහලෝකයයි. එය පෘථිවි ස්කන්ධය මෙන් 318 ගුණයක ස්කන්ධයෙන් යුක්තය. අනෙක් ග්‍රහලෝක සියල්ල එකට තැබූ විට ස්කන්ධය මෙන් දෙගුණයක හෝ තෙගුණයක පමණ ස්කන්ධයක් තිබේ. සූර්යයාගේ සිට ඇති දුර අනුව පස්වන ස්ථානය හිමිවන බ්‍රහස්පතිගේ සමක විශ්කම්භය 142984km පමණ වන අතර සූර්යයාගේ සිට දුර 77800000km පමණ වේ. බ්‍රහස්පතිගේ පරිභ්‍රමණ කාලය පෘථිවි අවුරුදු 12ක් පමණ වන අතර භ්‍රමණ කාලය පැය 10ක් පමණ වේ. මෙතෙක් චන්ද්‍රයන් 63න් දෙනෙකු පමණ සොයැගෙන ඇති අතර තවත් චන්ද්‍රයන් ඇතැයි විස්වාස කරයි. එයින් විශාලම චන්ද්‍රයන් වන්නේ යුරෝපා (Europa), අයූ (Io), ගැනිමීඩ් (Ganymede) හා කැලිස්ටෝ (Callisto) වේ. මේවා අපට දුරදක්නයක් ආධාරයෙන් පැහැදිලිව හඳුනාගත හැකි තරම්වේ.
අප සෞරග්‍රහ මණ්ඩලයේ දර්ශනීයම ග්‍රහලොව වන්සේ සෙනසුරු ග්‍රහයාය. සෙනසුරුගේ වායුගොලයත් බ්‍රහස්පතිගේ මෙන්ම හීලියම් හා නයිට්‍රජන්ගෙන් යුක්කවේ. සෙනසුරු ග්‍රහයා පෘථිවිය මෙන් 95 ගුණයකින් යුක්තවේ. සෙනසුරුගේ සමක විශ්කම්භය 120536km වන අතර සූර්යයාගේ සිට දුර අනුව හයවන ස්ථානයේ 142700000km පමණ දුරින් පිහිටා තිබේ. සූර්යයා වටා වරක් යාමට පෘථිවි අවුරුදු 29කට අධික කාලයක් ගතකරන අතර එහි කක්‍ෂය වටා යාමට පැය 10ක් 11ක් පමණ කාලයක් ගතකරයි. සෙනසුරු ග්‍රහයා විශාල හා කුඩා රැස් වළලු දහස් ගණනකින් සමන්විතවේ. මේ රැස් වළලු අයිස් හා ග්‍රහක කැබලි වලින් සැකසී තිබේ. සෙනසුරු ග්‍රහයාට මෙතෙක් චන්ද්‍රයන් 60කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර එයින් ටයිටන් (TITAN) නම් චන්ද්‍රයා සෞරග්‍රහ මණ්ඩලයේ ඝන වායුගෝලයක් ඇති එකම චන්ද්‍රයාවේ. සෙනසුරු ග්‍රහයාගේ වළලු අපට දුරේක්‍ෂයක් ආධාරයේ පහසුවෙන් දැකිය හැකිවේ.

පෘථිවි ස්කන්ධයෙන් 14 ගුණයක් විශාලත්වයෙන් යුතු යුරේනස් ග්‍රහයාගේ අනෙකුත් ග්‍රහයින්ගෙන් වෙන්කෙරෙන විශේෂ ලක්‍ෂණය වන්නේ එය එක් ඇලයකට වැතිරී මෙන් සූර්යයා වටා පරිභ්‍රමණය වීමයි. සූර්යයාගේ සිට ඇති දුර අනුව සත්වනතැන හිමිවන මෙය සූර්යයාගෙන් 287100000km පමණ දුරින් පිහිටයි. එහි සමක විශ්කම්භය 51110km පමණ වේ. සූර්යයා වටා පරිභ්‍රමණය සඳහා පෘථිවි අවුරුදු 84 පමණද භ්‍රමණය සඳහා පැය 17ක පමණ කාලයකුත් ගත කරයි. මෙතෙක් චන්ද්‍රයන් 27ක් පමණ හඳුනාගෙන තිබේ.

යුරේනස් ග්‍රහයාට වඩා මඳක් කුඩා නෙප්චූන් ග්‍රහයා සූර්යයාගේ සිට ඇති දුර අනුව අටවන ස්ථානයේ වේ. එය සූර්යයාගේ සිට 449710000km පමණ දුරින් පිහිටා ඇති අතර එහි පරිභ්‍රමණ කාලය පෘථිවි අවුරුදු 165ක් පමණවේ. එහි භ්‍රමණ කාලය පෘථිවි පැය 18ක් පමණය. නෙප්චූන් ග්‍රහයා සතු චන්ද්‍රයන් ගනන 13ක් වන අතර විශාලතම චන්ද්‍රයා වන ට්‍රයිටන් (TRITON) චන්ද්‍රයා භූ විද්‍යා ක්‍රියාකාරීත්වයෙන් යුක්ත බව පැවසේ. වෙනත් ග්‍රහලෝක වල චන්ද්‍රයන් මෙන් නොව ආපසු ගමන් කරන කක්‍ෂයක් ඇති එකම චන්ද්‍රයා මෙය වේ.

පෘථිවිය සමඟ ඝට්ඨනය වන ග්‍රහකයන් අප හඳුන්වන්නේ උල්කාශ්ම වශයෙනි. යම් ග්‍රහකයක් පෘථිවි වායුගෝලය වෙත පැමිණීමෙන් පසුව වායුගෝලය තුලම දැවී යන්නේ නම් එය උල්කාපාතයක් ලෙසද හැඳින්වේ. ධූමකේතු නොහොත් වල්ගා තරු බොහෝමයක් අයිස් වලින් සෑදුනු කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුතු සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා වස්තූන්ය. ඒවා සූර්යයාගේ සමීපයට ගෙනෙන හා නෙප්චූන් ග්‍රහයාගෙන් එපිටට ගමන් කරන කක්‍ෂයන්ගෙන් යුක්ත වන අතර ධූමකේතු වල සැලැස්ම විවිධාකාර විය හැකි බවටත් සොයාගෙන ඇත.

පළමු කොටසට..........

Saturday 17 August 2013

අපේ සෞරග්‍රහ මණ්ඩලය - පළමු කොටස

විශ්වය ගැන විශ්වයේ උපත ගැන පුරාතන කතා වලින් විවිධ වූ අදහස් පලකර ඇති බව අප දනිමු. එහෙත් භෞතික ලෙස හැසිරෙන විශ්වයක් ගැන මුලින්ම සොයාගෙන ඇත්තේ ග්‍රීකයන් විසිනි. ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයා විශ්වය ගැන ඔහුගේ මත වලට මුල් කරගත්තේ සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන් පෘථිවිය වටා ගමන් කරනවා කියන පෘථිවි කේන්‍ද්‍රීය න්‍යායයි. විශ්වය ගැන පෘථිවි කේන්‍ද්‍රීය න්‍යායය පිලිනොගන්නා ග්‍රීක දාර්ශනිකයෝ අතර ඇරිස්ටාකස් දාර්ශනිකයා මුල් තැනක් ගනී. සූර්යයා වටා පෘථිවිය ඇතුළු අනෙකුත් ග්‍රහ වස්තූන් භ්‍රමනය වන බව පැහැදිලි කරන, සූර්යය කේන්‍ද්‍රීය න්‍යායය මුලින්ම ඉදිරිපත් කල තාරකා විද්‍යාඥයා වූයේ ඇරිස්ටාකස්ය. ඒ වාගේම ඇල්බට් අයින්ස්ටයින් නැමැති විද්‍යාඥයා ඔහුගේ සාපේක්‍ෂතාවාදය න්‍යාය විශ්වයේ සැකැස්ම පිළිබඳව පැහැදිලි කිරීමට යොදාගන්නා ලදී.
විශ්වයේ ආරම්භය හඳුන්වන්නේ මහා පිපිරුම යනුවෙනි. මේ මහා පිපිරුම යනු විශ්වයේ සියළු පදාර්ථයන් සහ ශක්තිය අසීමිත ඝනත්වයෙන් එක් ලක්‍ෂයක ඒකරාශී වීමෙන් පසු ඇතිවූ අධිබල තාපයෙන් හටගත් මහා පිපිරුමය. ඉන්පසු විශ්වය අද පවතින ස්වරෑපයට පත්වන්නට පටන් ගන්නා ලදී. මුළු විශ්වය පුරාම බලපවතින්නේ සමාන භෞතික විද්‍යාවක්ය. විශ්වය පරිණාමය විය. විශ්වයේ ඉතිහාසයේ සිටම විශ්වයේ පවතින මන්දාකිණි සංඛ්‍යාව වෙනස්වී තිබෙන අතර විශ්වය නිරන්තරයෙන් ප්‍රසාරණය වන බවත් ප්‍රධාන බලය වන්නේ ගුරුත්වයයි. ගුරුත්වාකර්ශණය පිලිබඳ අද තිබෙන න්‍යාය හැටියට පිලිගන්නේ සාපේක්‍ෂතාවාදයයි. විශ්වය මේ වනතෙක් පැවතී ඇති කාලය අවුරුදු බිලියන 13-14ක් පමණ වන බව පිලිගනී. විශ්වයේ විශ්කම්භය අවම වශයෙන් ආලෝක වර්ශ බිලියන 93ක් පමණ වන බවට ගනන් බලා තිබේ. ආලෝක වර්ශ යනු ග්‍රහ වස්තූන් අතර සෘජු දුර මනින මිනුම් ඒකකයයි.
පරමාණු රාශියක් තරු බවට පත්වේ, තරු රාශියක් මන්දාකිණි ලෙස සැකසේ මන්දාකිණි රාශියක් මන්දාකිණි පොකුරු බවටත් අවසානයේදී මහා මන්දාකිණි පවුර වැනි විශාල පදාර්ථයක් බවට පත්වේ. මන්දාකිණි මිලියන 100කට වඩා තිබෙන බව විශ්වාස කරන අතර ඒවා පිහිටා තිබෙන්නේ ආලෝක වර්ශ මිලියන හෝ බිලියන ගනනක දුර පරතරයෙන්වේ. මන්දාකිණි අතර මෙම දුර පරතරය පිරී තිබෙන්නේ ඉති තුනී වායුවකින්ය. මන්දාකිණි වලින් වැඩි සංඛ්‍යාවක් තිබෙන්නේ පොකුරු හැටියටය. රාත්‍රී අහසේ දීප්තිමත් පටියක් ලෙස දිස්වෙන ක්‍ෂීරපඨය අපගේ මන්දාකිණියයි. එය තාරකි විශාල සංඛ්‍යාවකින් සමන්විතයි. මන්දාකිණි ප්‍රධාන වශයෙන් වර්ග 03ක් තිබේ. ඉලිප්සාකාර මන්දාකිණි, සර්පිලාකාර මන්දාකිණි හා අක්‍රමවත් නැතහොත් විශම මන්දාකිණි වශයෙනි. අපගේ ක්‍ෂීරපථය වන මන්දාකිණිය සර්පිලාකාර මන්දාකිණියකි. එහි තාරකා 200 සිට 400 දක්වා සංඛ්‍යාවක් තිබේ. ක්‍ෂීරපථ මන්දාකිණියට ආසන්නතම විශාලතම මන්දාකිණිය ලෙස සලකන්නේ ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියයි. එය අපගේ මන්දාකිණිය මෙන් හතරගුණයක විශාලත්වයකින් යුක්ත මන්දාකිණියකි. අප මන්දාකිණියේ සිට එයට ඇති දුර ආලෝක වර්ශ මිලියන 2.5ක් පමණ වේ. අප ක්‍ෂීරපථ මන්දාකිණියද ආසන්න වශයෙන් ආලෝක වර්ශ ලක්‍ෂයක පමණ විශ්කම්භයෙන් යුක්තවේ.

 






අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ කේන්‍ද්‍රීය තාරකාව සූර්යයායි. පෘථිවිය මත ජීවය පැවැත්මට සූර්යයා අත්‍යාවශ්‍යය. තාපය, ආලෝකය, වලාකුළු, වැස්ස සියල්ල ඇතිවී තිබෙන්නේ සූර්යයා නිසාය. සූර්යයා අපගේ මන්දාකිණියේ අනෙකුත් තාරකා සමඟ සසඳන විට දිස්වන්නේ දීප්තියෙන් අඩු වාමන තාරකාවක් බවට කාලයක් තිස්සේ විශ්වාස කෙරුණු අතර පසුව සොයාගෙන ඇති පරිදි සූර්යයා විශාල හා දීප්තිමත් තාරකාවක්වේ. අපගේ මන්දාකිණිය තුල සූර්යයාට වඩා දීප්තියෙන් හා තාපයෙන් වැඩි තාරකා තිබෙන්නේ ඉතාමත් අඩු ගණනකි. වැඩි වශයෙන්ම තිබෙන්නේ අපගේ සූර්යයාට වඩා දීප්තියෙන් අඩු සිසිල් තාරකා වේ. සූර්යයා තුල ඇති හයිඩ්‍රජන් හා හීලියම් වායුවල අනුපාතිකයන් අනුව එය ජීවිතයේ අඩක් ගෙවා ඇති තාරකාවක් බව සොයාගෙන ඇත.
සූර්යයා හා ග්‍රහලෝක 8 කින්ද ඒවායේ මෙතෙක් හඳුනාගත් චන්ද්‍රයන් 166කින්ද වාමන ග්‍රහලෝක තුනකින් හා කුඩා ග්‍රහවස්තූන් බිලියන ගණනකින් අපගේ සෞරග්‍රහ මණ්ඩලය සමන්විතවේ. වාමන ග්‍රහලෝක තුන වන්නේ CERES, PLUTO හා ERIS යන ග්‍රහ වස්තූන්ය. ග්‍රහකයන්, කුයිපර් පටියේ ග්‍රහ වස්තූන්, ධූම කේතු හෙවත් වල්ගා තරු, උල්කාවන් කුඩා ගුහ වස්තූන්ට අයත් වේ. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් 04ක් අභ්‍යන්තර ග්‍රහලෝක ලෙසත්, 04ක් බාහිර ග්‍රහලෝක ලෙසත් හැඳින්වේ. අභ්‍යන්තර ග්‍රහලෝක 04 වන්නේ සූර්යයාගේ සිට ඇති දුර අනුව පිලිවෙලින් බුධ, සිකුරු, පෘථිවිය හා අඟහරු යන ග්‍රහලෝක 04යි. යෝධ වායුමය බාහිර ග්‍රහලෝක 04 වන්නේ සූර්යයාගේ සිට ඇති දුර අනුව පිලිවෙලින් බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් හා නෙප්චූන් යන ග්‍රහලෝකයන්ය. ග්‍රහලෝක 08න් 6 කටත් වාමන ග්‍රහලෝක 03න් දෙකකටත් එම ග්‍රහලෝක වටා පරිභ්‍රමණය වන චන්‍ද්‍රයන් සිටී.

දෙවැනි කොටසට..............

Thursday 25 July 2013

තාරකා විද්‍යාව හා ජෝතිශ්‍යය

අප අහසේ දකින තාරකා, ග්‍රහලෝක ඇතුළු දේ මත පදනම් වුන ජෝතිශ්‍යය හා තාරකා විද්‍යාව පිළිබඳ මූලික කරුණු කීපයක් තමයි මේ ලියන්න හදන්නේ. ඒකට හේතුවුනේ තාරකා විද්‍යාව හා ජෝතිශ්‍ය කියන්නේ එකම විශය ක්‍ෂේත්‍රයක් යැයි සිතමින් ඒ පිළිබඳ හදෑරීමට මැලිකමක් දක්වන අය වෙනුවෙන්. අප වටේ තියෙන තාරකා රටා, ග්‍රහලෝක, හිරු, සඳු කියන දේවල් මේ දෙකටම අදාල වුනත් ජෝතිශ්‍ය විද්‍යාවේදී සැලකීමක් නොකරන ධූමකේතු, මන්දාකිනී, ග්‍රහක ඇතුළු තව බොහෝමයක් දේවල් ගැන සෙවීම තාරකා විද්‍යාව සතු වෙනවා.

ඉතිරියත් කියවන්න මෙතැනින්.....

Sunday 14 July 2013

ජූලි අහසේ අසිරිය


මෙම මාසයේ රාත‍්‍රී අහසේ ග‍්‍රහලෝක සහ තාරකා රාශි කීපයක් ඔබට දැකගත හැකිය. හිරු පෑයීමට පෙර අලූයම නැගෙනහිර අහසේ බ‍්‍රහස්පති සහ අඟහරු යන ග‍්‍රහයින් දෙදෙනා පායා තිබෙන අන්දම දර්ශනය කළ හැක. සෞරග‍්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තර ග‍්‍රහලෝක පද්ධතියේ අවසානයට පිහිටා ඇති අඟහරු ග‍්‍රහයා සූර්යයාගේ සිට හතරවැනි ස්ථානයේ පිහිටයි. රතු පැහැයෙන් දිස්වන අඟහරු ග‍්‍රහයා අතීතයේ සිටම පෘථිවි වාසීන්ගේ අවධානයට ලක්වූ ග‍්‍රහලොවකි. පැරණි රෝම ශිෂ්ටාචාරය අඟහරු හැඳින්වූයේ යුද්ධයට අධිපති දෙවියන් ලෙසයි. ඒ හේතුවෙන් ”මාර්ස්” (MARS) යන නාමය අඟහරු ග‍්‍රහයාට යොදා ඇත.
සිකුරු ග‍්‍රහයා
බ‍්‍රහස්පති ග‍්‍රහයා 
අඟහරු ග‍්‍රහයා
සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 249 තරම් උපරිම දුරකින් ගමන්කරන අඟහරු ග‍්‍රහයාට තම ඉලිප්සාකාර ගමන් මාර්ගය තුළදී සූර්යයාට කිලෝ මීටර් මිලියන 206 තරම් ආසන්නයටද පැමිණෙයි. සාමාන්‍ය ප‍්‍රමාණයේ දුර දක්නයකින් නිරීක්‍ෂණය කිරීමේදී අඟහරු ග‍්‍රහයා රතු පැහැති ගෝලයක් මෙන් දැකගත හැකිය.
වායුමය යෝධයකු වන බ‍්‍රහස්පති, සෞරග‍්‍රහ මණ්ඩලයේ විශාලතම ග‍්‍රහලොවද වෙයි. බාහිර සෞර ග‍්‍රහ මණ්ඩලය ආරම්භ වන්නේ බ‍්‍රහස්පති ග‍්‍රහයාගෙනි. බ‍්‍රහස්පති ග‍්‍රහයාට රෝම දෙවිවරුන්ගේ රජු හඳුන්වනු ලබන ”ජුපිටර්”  (JUPITER) යන නාමය ලබාදී ඇත. නිල් පැහැයෙන් බබළන බ‍්‍රහස්පති ග‍්‍රහයා වටා චන්ද්‍රයින් 63 ක් පමණ පිහිටා ඇති බව සොයාගෙන ඇති අතර, ඉන් ප‍්‍රධාන චන්ද්‍රයින් හතර වන යුරෝපා, ගැනිමිඞ්, අයෝ සහ කැලිස්ටෝ දෙනෙනියක් (BINOCULERS) හෝ කුඩා දුර දක්නයක් තුළින් නැරඹිය හැක. බ‍්‍රහස්පති ග‍්‍රහයා සතුව ඉතාමත් සංකීර්ණ වායුගෝලයක් පවතී. එහි නිතරම කුණාටු පවතින අතර, අකුණු ගැසීම් ද සිදුවේ. මෙම සංකීර්ණ වායුගෝලය තුළ ප‍්‍රධාන වශයෙන් අඩංගු වන්නේ හයිඩ‍්‍රජන් සහ හීලියම් වායුන් වේ. බ‍්‍රහස්පති ග‍්‍රහයා සූර්යාගේ සිට නක්‍ෂත‍්‍ර ඒකක  (AU)  5,2026 ක් දුරින් කක්‍ෂයක ගමන් කරයි. මෙහි විෂ්කම්භය කිලෝ මීටර් 1,43,200 පමණ වන අතර, සූර්යයා වටා පරිභ‍්‍රමණය වීමට පෘථිවි වර්ෂ 11.86 ක් ගත කරයි.
සෞරග‍්‍රහ මණ්ඩලයේ අලංකාරම ග‍්‍රහයා වශයෙන් හඳුන්වන සෙනසුරු, වළලූ පැළඳි මනාලිය ලෙසින්ද හඳුන්වනු ලබයි. සූර්යයාගේ සිට හයවැනි ස්ථානයේ ගමන් ගන්නා සෙනසුරු පියෙවි ඇසට පෙනෙන අවසන් ග‍්‍රහලොවද වෙයි. මේ දිනවල රාත‍්‍රී 8.00 ට පමණ නැගෙනහිර අහසේ දකුණට බරව අංශක 90 ක් පමණ ඉහළින් කන්‍යා රාශිය තුළ පිහිටා ඇති සෙනසුරු ඔබට නිරීක්‍ෂණය කළ හැකිය. 1659 දී ක‍්‍රිස්ටියන් හයිජන්ස් නමැති තාරකා විද්‍යාඥයා විසින් සෙනසුරු සතුව වළලූ පද්ධතියක් ඇති බවට මුලින්ම හෙළි කරනු ලැබීය. සෙනසුරු ග‍්‍රහයා සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 1429.4 දුරින්වූ කක්ෂයක ගමන් කරයි. මෙහි විෂ්කම්භය කිලෝ මීටර් 1,20,536 ක් පමණ වේ. සූර්යයා වටා එක් වටයක් යෑමට සෙනසුරුට පෘථිවි වසර 30 කට ආසන්න පමණ කාලයක් ගතවේ. ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් සෙනසුරුවෙත යානාවන් රැුසක් යවා ඇති අතර, එමගින් ග‍්‍රහයා සහ එය වටා පිහිටා ඇති වළලූ පිළිබඳව තොරතුරු රැුසක් හෙළිදරව් කරගෙන ඇත. කුඩා දුරදක්නයක් මගින් නරඹන විට සෙනසුරු වටා පිහිටා ඇති අලංකාර වළලූ පද්ධතිය ඔබට දැකගත හැකිය.
මේ දිනවල සැන්ඳෑයාමයේ හිරු බැස ගිය පසු බස්නාහිර අහසේ දීප්තිමත්ව බබලමින් පවතින සිකුරුග‍්‍රහයා ඔබට පහසුවෙන් දැකගැනීමට ලැබෙනු ඇත. ආදරයේ දෙවඟන වන වීනස් Venes යන නාමය සිකුරුට දී ඇත. චන්ද්‍රයා හැරුණු විට රාත‍්‍රි අහසේ දීප්තිමත්ම වස්තුව වනුයේ සිකුරුයි. මෙම සිකුරු ග‍්‍රහලෝකය ඉරබටු තරුව මෙන්ම පහන් තරුව ලෙසද සාමාන්‍ය ජනවහරේ හැඳින්වෙයි. ඊට හේතුව වන්නේ සිකුරු සමහර කාලවලදී ඉරපායා ඒමට පෙර නැගෙනහිර අහසේත්, තවත් කාලයකදී හිරු බැස ගිය පසු බටහිර අහසේත් දිස්වීමය. සෞරග‍්‍රහ මණ්ඩලයේ සියලූම ග‍්‍රහයින් බටහිර සිට නැගෙනහිරට භ‍්‍රමණය වුවත් සිකුරු ග‍්‍රහයා පමණක් නැගෙනහිර සිට බටහිරට භ‍්‍රමණය වෙයි. සිකුරු ග‍්‍රහයා මතදී හිරු බටහිරින් පායා නැගෙනහිරින් බැස යනු දැකගත හැකි වනු ඇත. සිකුරු සතුව ඉතා ඝන වායුගෝලයක් පවතින අතර එය කාබන්ඩයොක්සයිඞ් සහ සල්ෆියුරික් යන අම්ලයන්ගෙන් වැසී පවතී. සිකුරු සූර්යයාගේ සිට කිලෝමීටර් මිලියන 108.2 ඈතින්වූ කක්‍ෂයක ගමන් කරන අතර, එහි විශ්කම්භය කිලෝමීටර් 12100 කි. හිරුගේ සිට හිරු වටා ගමන්ගන්නා දෙවැනි ග‍්‍රහලොව සිකුරු වන අතර, කුඩා දුර දක්නයක් තුළින් නරඹන විට අපේ හඳේ මෙන් කලාවන් ඇතිවන අයුරු දැකගත හැකිය.
රාත‍්‍රි 8.00 ට පමණ නැගෙනහිර අහසේ දකුණට බරව වෘශ්චික රාශිය පිහිටා ඇති අන්දම ඔබට නිරීක්‍ෂණය කළ හැක. තාරකා විද්‍යාවේදී ස්කොපියස් Scorpius   යනුවෙන් හඳුන්වනු ලබන වෘශ්චික රාශිය ගෝනුස්සා නමින්ද හඳුන්වනු ලැබේ. රාශි චක‍්‍රයේ රාශීන් අතුරින් පහසුවෙන් වටහාගත හැකි අන්දමින් පිහිටා ඇති වෘශ්චික රාශිය අහසෙහි විශාල ප‍්‍රදේශයක් පුරා පැතිරී ඇති අන්දම දැක ගත හැක. ගෝනුස්සාගේ හදවත සනිටුහන් කර දීප්තිමත් රතු යෝධ තරුව ඇන්ටාරස් නම් වෙයි. එය ආලෝක වර්ෂ 600 ක් දුරින් පිහිටා ඇත. ගෝනුස්සා තාරකා රාශිය හරහා ක්‍ෂීරපථයෙහි කොටසක් වැටී ඇත. එය ඔබට දැකගත හැකි වන්නේ දුම්වළාවක් ලෙසිනි.
කන්‍යා රාශිය සහ තුලා රාශියද මේ දිනවල දකුණට බරව මුදුන් අහසේ ඔබට දැකගත හැකිවනු ඇත. කන්‍යා රාශියේ දීප්තිමත්ම තාරකාව වන ස්පයිකා (SPICA) නම් වන අතර, එම තාරකාවට නුදුරු ස්ථානයක අඳුරු කහ පැහැයෙන් සෙනසුරු දිස්වේ. සමකය වැටී ඇත්තේ කන්‍යා රාශිය හරහාය.
තුලා ලග්නයේ රුප සටහනක තරාදියක හැඩයක් නිරූපණය කරන අතර මෙහි පෙනෙන දීප්තිමත් තරු තුන සමපාද ත‍්‍රිකෝණයක ශීර්ෂවලට පිහිටා තිබේ. ගෝනුස්සා තරකා රූපය රාත‍්‍රි අහසෙහි ඉතාමත් පහසුවෙන් සොයා ගත හැක. එහි හිස කොටස ආසන්නයේ පිහිටි සමපාද ත‍්‍රිකෝණයේ හැඩයට පිහිටි දීප්තිමත් තරුතුන හඳුනාගෙන ඒ අවට පායා ඇති අනිත් තරු සොයාගැනීමෙන් ඔබට තුලා ලග්නයේ තාරකා රූපය හඳුනාගත හැක.
 
වෘශ්චික රාශිය
 
සෙනසුරු ග‍්‍රහයා
 
වලාකුළුවලින් තොර පැහැදිලි අහසක් යටතේ ඉහත සඳහන් කළ ග‍්‍රහලෝක සහ තාරකා රාශි මේ මාසය පුරාවටම ඔබට දර්ශනය කිරීමේ අවස්ථාව ලැබෙනු ඇත.
 
 

දයාසිරි පෙරේරා - තාරකා විද්‍යාඥ, බණ්ඩාරවෙල

Friday 12 July 2013

ISON ධූමකේතුව

 










ISON ධූම කේතුව ශතවර්ශයේ ධූමකේතුව විදිහටත් හඳුන්වනවා. 2012 ලෝක විනාශය ගැන කතාබහට ලක්වූ මෙම ධූමකේතුව 2012 සැප්තැම්බර් මාසයේදී රුසියානු තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු විසින් සොයාලනු ලැබූවක්. නොස්ට්‍රාඩමුස්ගේ අනාවැකිය සඵල කරමින් මෙය ලෝක විනාශය සිදු කරයිද යන්න පිලිබඳ තවමත් විද්‍යාඥයින් විමසිල්ලෙන් තමා ඉන්නේ.

හැතැප්ම 3ක් 4ක් අතරේ විශාලත්වයක් තියෙන ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව වගේ 1.2 ගුණයක් විශාගත්වයෙන් යුතු මේ ධූමකේතුව පලමු වරට සූර්යයා හා ගැටීමක් සිදුවන්නේ 2013 දී කියලයි කියන්නේ. කොහොම වුනත් මේ ධුමකේතුව සූර්යයා අසලින් යාමක් තමා සිදුවෙන්නේ.ඒ කිලෝමීටර මිලියන 1.2 පමණ ආසන්නයෙන්. මේ නිසා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි විශාගත්වයකින් යුතු වලිගයක් එහි දකින්න පුළුවන් වෙයි කියලත් විශ්වාස කරනවා. 
මේ ධූමකේතුව 2013 නොවැම්බර් මාසයේදී, හිරුගේ රශ්මියෙන් විනාශ නොවුනොත් අපට රාත්‍රී අහසේ දකින්නට ලැබිය හැකි බවත් දහවල් කාලයේදී අධික දීප්තිමත් තාරකාවක් මෙන් දිස්විය හැකි බවටත් අනාවැකි පලකරලා තියෙනවා.

Thursday 27 June 2013

අපූරු අහස වැඩසටහන

අහස, තරු, ග්‍රහලෝක අතර තිබෙන දේවල් මොනවාද? මේක අපිට හැමදාම ගැටළුවක් වුනා. ඒත් පුංචි කාලේ තරු රටා, වල්ගා තරු, හඳ අපි බොහෝම ආසාවෙන් බලපු දේවල්. අපි බොහෝම ආසාවෙන් හිටියා ඒවා බලන්න. ඒ විතරක් නෙවේ නිවි නිවි පත්තුවෙන තරු, ඇවිදින තරු බලන්න අපි මෙනෙ තරම් ආස කලාද? මේ දේවල් මොනවාද කියල කියලා දෙන්න පහ වසරේ ශිෂ්‍යත්වය විශය නිර්දේශයේ අහස ගැන පාඩමක් ඇතුලත් කරලා තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේ විශය කරුනු ඉගැන්වීම සඳහා අපි වැඩසටහනක් යෝජනා කරලා ක්‍රියාවට නංවන්න කටයුතු කලා. ඒ අපූරු අහස වැඩසටහන මගින්. ඒකෙදී අපි දරුවන්ව හැමදාම කොටුවෙලා ඉන්න පුංචි පන්ති කාමර වලින් අරන් එලිමහනක තමයි වැඩසටහන කරන්න කටයුතු සකස් කලේ. සතුට විනෝදය එක්ක ගෙවුන ඒ වැඩසටහන නම් ඇත්තෙන්ම අපූරු වැඩසටහනක්.
2013 පූනි මාසෙ 27 වැනිදා සවස 3.30ට අපි අම්පාර පාදාගොඩ විද්‍යාලයයට එක්රැස් වුනේ මේ අපූරු වැඩසටහන කරගෙන යන්න හිතාගෙන. ඒ  අම්පාර වැව්සිරිගම විද්‍යාලයයේ ගුරුවරයෙකු වන ඩී. එම්. සෙනෙවිරත්න මහත්මාගේ මෙහෙයවීම යටතේ වැව්සිරිගම, පාදාගොඩ හා දේවාලහිඳ යන පාසල් වල 5 ශ්‍රේණියේ ලමුන් එක්රැස් කරගනිමින්. මේ සඳහා විශේෂ ආරාධනාවකින් තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ගෙන්වා ගැනීමට හැකිවීම අප ලද විශාල භාග්‍යයක් වුනා. එතුමා වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීමත්, අපට දුරේක්‍ෂ හා තාක්‍ෂණික සහාය ලබා දුන්න ආධුනික තාරකා විද්‍යාඥ අම්පාර පොලීසියේ කොස්තාපල් අනුර බන්ඩාර මහත්මාගේ දැනහැඳුනුම් කම යන කරුණු නිසාවෙන් අප සමඟ බොහෝම කැමැත්තෙන් එකතු වුනා. මෙහිදී අනුර බණ්ඩාර මහත්මා කල සේවය ඉතා අගය කල යුතු වෙනවා.
මේ වැඩසටහන අතරතුර තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහත්මයා දුරකථනය මගින් සම්බන්ධව කුඩා දරුවන්හට වටිනා ඔවදන් පෙලක් දෙන්නට තරම් කාරුණික වුනා. එතුමාගේ වැඩ රාජකාරි අතර මෙවන් කැපකිරීමක් දරුවන් වෙනුවෙන් කිරීම ඉතා අගය කොට සැලකිය යුතුය. මේ වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස වුන එක නම් අප දුට සත්‍යයක්. ඒ සිසුන්ගේ තිබුනාවූ උනන්දුව නිසාවෙන්. කුඩා ලමුනගේ මනසේ රඟදෙන්නාවූ ගැටළු ඉතා යුහුසුළුව ඉදිරිපත් කිරීම අපට දකින්නට ලැබුනා. ඒ අප කුඩා කල සිතූ දේවල් වාගේමයැයි සිතෙද්දී අපිත් මඳකට කුඩාවියට යන්නට වුනා. මේ මගේ මනසේ රැව්දුන් අප සිසුන් ඇසූ ප්‍රශ්ණ වලින් කීපයක්.

* පෘථිවිය බිම වැටෙන්නේ නැත්තේ ඇයි?
* හඳේ වලවල් හැදෙන්නේ කොහොමද?
* සෙනසුරුගේ වලල්ලේ තියෙන්නේ මොනවාද?
* ග්‍රහලෝක විවිධ පාට ඇයි?
* වල්ගා තරු කියන්නේ මොනවාද? හැදෙන්නේ කොහොමද?
* චන්ද්‍රිකා වල පාලනය තියෙන්නේ කොහොමද?
* සූර්යයාට එලිය එන්නේ කොහොමද?

තවත් මේ වගේම ගැටළු රාශියක් කුඩා ලමුන්ගෙන් ඇසෙද්දී අපට ඒ දේවල් වලට උත්තර දෙනවා එක්කම කාල වේලාව එක්කත් තරඟ කරන්නට සිදුවුනා. ඒ විතරක්ම නෙවෙයි ලමුන්ගේ කුසලතා කැටිකරගනිමින් වැඩසටහන ඉදිරියට ගෙනයද්දී වෘශ්චික තරු රටාව, සිකුරු ග්‍රහයා, සඳේ ආවාට වැනි දෑ අප දුරේක්‍ෂ මගින් නරඹන්නට හැකිවුනා. නමුත් රාත්‍රී 10.30 පමණ වෙද්දී අධික වලාකුළු ස්වභාවයක් අහසේ තිබූ නිසා අඳුරු අහසක් දක්නට ලැබුනත් වැඩසටහන හා සම්බන්ධ වුන 90% කට අධික පිරිසක් ඒ වෙද්දිත් අහස නිරීක්‍ෂණය කර අවසන් වී තිබීම අපගේ සතුටට හේතුවුනා.
අධ්‍යාපනය පන්ති කාමර වලට සීමා නොකර එලිමහනේ ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරවීම ඉතා සාර්ථක ක්‍රමයක් බැව් පෙන්වාදීමට මෙම අපූරු අහස වැඩසටහන කදිම උදාහරනයක් වුනා. සඳ, තරු හා අහස අතර තනිවුන අප නිකන්ම නිකන් උඩ බලන් ඉන්නේ නැතිව රාත්‍රී අහස අධ්‍යයනය කිරීමත් ඉතා ආකර්ශණීය මාතෘකාවක් බව මටනම් හොඳින්ම තේරුම් ගිය කරුණක් වුනා. පරිඝනක ක්‍රියා කරවීම හා තොරතුරු එක්රැස් කර ලබාදීම සඳහා මාව මේ වැඩසටහන වෙත සම්බන්ධ කරගැනීම සම්බන්ධව මමත් අනුර බණ්ඩාර මහත්මයාට මේ වෙලාවෙදී ස්තූතිවන්ත වෙන්න ඕන. කොහොම වුනත් අප විශ්ව විද්‍යාලයේත් මෙවන් තාරකා නිරීක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමේ අදහස පෙර දැරිව අප එතැනින් පිටවුනා.

කොහොම වුනත් අවසානයේ අපි විශේෂයෙන් තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ විතරක්ම නෙවෙයි දුරේක්‍ෂ හා උපකරණ සපයපු අනුර බණ්ඩාර මහත්මාටත් අපි විශේස ස්තූතියක් වෙන්න ඕන මේ සියල්ල සම්බන්ධ කරල දුන්නාට. ඒ විතරක් නෙවෙයි ගුරු උපදේශක ඩී. එම් සිරිනන්ද මහත්මා, ඩී. එම් සෙනෙවිරත්න ගුරු මහත්මා, කුලසිරි මනතුංග මහත්මා, එන් අයි සමරනායක මහත්මා, අදාල පාසල්වල විදුහල්පතිවරුන්, දුරදක්න හැසිරවීමේ සහයක විදිහට ආව චමින්ද කේ ගනේගෙදර හා දර්ශන තරංග සොයුරන්ටත් මේ වෙලාවේදීම ස්තූතිවන්ත වෙන්න ඕන.

අපේ කැමරා වල සටහන් වූ දර්ශන කීපයක්.....

Saturday 22 June 2013

යුරේනස් සොයාගත් විලියම් හර්ෂෙල් - දෙවන කොටස


1783 වසරේදී ඔහු කැරොලයින්ටද වෙනමම දුරේක්‍ෂටයක් ලබා දෙමින් ඇයට ස්වාධීනව නිරීක්‍ෂණ කටයුතු කිරීමට මං සලසා දුනි. ඇය වල්ගා තරු පිළිබඳ සොයා බැලුවේ එම දුරේක්‍ෂෙයනි. ඇය සිය ජීවිත කාලයම විලියම්ට සහයක ලෙස ඔහුගේ නිරීක්‍ෂණයන් සටහන් කරමින් උන්නාය. 1788 වසරේදී විලියම් විසින් වැන්දඹුවක් වන මෙරියිට් විවාහ කරගන්නා තුරුම මේ සහෝදර සහෝදරී එක්ව කටයුතු කලේය. විලියම්ගේ පසු කාලීන සොයා ගැනීම් අතර සෙනසුරුගේ උපග්‍රහයින් දෙදෙනෙකු වූ මීමාස් (MIMAS) සහ එන්සෙලඩස් (ENSELADES)ද, යුරේනස්ගේ උපග්‍රහයින් දෙදෙනෙකු වන ටයිටේනියා (TITANIA) සහ ඔබරන් (OBAREN) ද වේ.
නිහාරිකා සොයාගැනීම, ද්විත්ව තාරකා හඳුනාගැනීම ඔහුගේ නිරීක්‍ෂණ අතර විය. විශ්වය තුල සෞරග්‍රහ මණ්ඩලය චලනය වන බව පැවසූ ප්‍රථමයාද විලියම් හර්ෂල්ය. ප්‍රිස්මයන් තුලින් සූර්යයාලෝකය ගමන් කරවා වර්ණාවලියේ රතු අන්තයට උෂ්ණත්වමානයක් තබමින් එහි උෂ්ණත්වය වෙනස්වීම දුටු විලියම් අධෝරක්ත විකිරණය ලොවට හඳුන්වා දුන්නේය.
විලියම් හා මේරි හට එක් පුතෙකු උපන්නේය. පසුකාලීනව තාරකා විද්‍යඥයෙකු බවට පත්වූ විලියම් උපත ලබා ඇත්තේ විලියම් හර්ෂල්ගේ නිරීක්‍ෂණාගාරය තුලදීය. 1816 වර්ෂයේදී ශ්‍රීමත් යන නාමයෙන් පිදුම් ලද විලියම් හර්ෂල් ලන්ඩන් තාරකා විද්‍යා සංගමය බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය ලෙස නම් කිරීමට අඩිතාලම දැමූ අයෙකි. 1822 අගෝස්තු 25 වන දින ඔහුගේ නිරීක්‍ෂනාගාරයේදීම මිය ගියේය. විශ්වයේ දැනට හඳුනාගෙන ඇති විශාලතම තාරකා දෙකෙන් එකක් හර්ෂල්ගේ ගානට් තාරකාව ලෙසද, හඳේ ආවාටයක්, අඟහරුගේ ද්‍රෝනියක්, මීමාස් උපග්‍රහයාගේ ආවාටයක්ද, වල්ගා තරුවක්ද හර්ෂල්ගේ ඇවෑමෙන් පසු ඔහුගේ නමින් නම් කෙරුණි.

ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.


Friday 21 June 2013

යුරේනස් සොයාගත් විලියම් හර්ෂෙල් - පළමු කොටස

ක්‍රිස්තු වර්ශ 1737-1822
ජර්මනියේ ඉපැරණි බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රීමත් ෆෙඩ්රික් විලියම් හර්ෂෙල් විද්‍යාඥයා ලොව ප්‍රසිද්ධ වූයේ යුරේනස් ග්‍රහලොව සොයා ගැනීමෙන් අනතුරුවය. අධෝරක්ත විකිරණ යොදාගැනීම ඇතුළු තවත් දැවැන්ත සොයාගැනීම් මොහු විසින් ලෝකයාට දායාද කලේය.

දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක උපත ලද මොහුගේ මුල් නාමය වූයේ ෆයිරිච් විලියම් හර්ෂෙල්ය. ජර්මනියේ හැනෝවර් ප්‍රදේශයේ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සේවය කල විලියම්ගේ පියා නිසා මොහු බෙහෙවින් සංගීතයට ප්‍රිය කලේය. මොහු සිය සොහොයුරා සමඟ පියාගේ අභාවයෙන් පසු හමුදා තූර්ය වාදක කණ්ඩායමට සේවය කල අතර මෙම කණ්ඩායම පසුව එංගලන්තය බලා යවන ලදී. එහිදී හමුදා සේවයෙන් ඉවත් වූ දෙසොහොයුරෝ ලන්ඩනය බලා පිටත් විය. තම නම ෆෙඩ්රික් විලියම් ලෙස වෙනස් කල ඔහු ඉතා ඉක්මනින් ඉංග්‍රීසි උගත්තේය. වයස අවුරුදු 19දී ඔහු දක්‍ෂ සංගීත ගුරුවරයෙකු විය. දක්‍ෂ වයලීන් වාදකයෙකු හා පියානෝ වාදකයෙකු වූ ඔහු කෙටි කලකින්ම එංගලන්තයේ බාක්වල සමූහ වාදන වල ප්‍රධානියා බවට පත්විය. 1772 වසරේදී ඔහුලේ සොහොයුරිය කැරලැයින් ඔහු සමඟ බාක් හි නව කිංසි පාරේ පිහිටි නිවසේ (දැන් එය හර්ෂල්ගේ තාරකා විද්‍ය කෞතුකාගාරය ලෙස හැඳින්වේ.) ජීවත් වීමට පැමිණියේය. ඇය දක්‍ෂ ඒකල ගායිකාවක් විය. ඔහුගේ අන් සොහොයුරන් වන ඩයිරිච්, ඇලෙක්සැන්ඩර්, හා ජෙකොබ් ද ඒ වන විට බාක් හි දක්‍ෂ සංගීතඥයින් ලෙස නමක් දිනා සිටියේය.
හර්ෂල්ගේ සංගීතයට වූ උනන්දුව ඔහුව ගණිතයට හා තාරකා විද්‍යාවට යොමු කලේය. මෙම ආශාව තවත් වැඩි දියුණු වූයේ 1773 වසරෙන් පසු ඔහු විසින් දුරේක්‍ෂයක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය. ඔහු විසින් හඳ නිරීක්‍ෂණය කරන අතරතුරදීම හඳේ කඳුවල උස මැනීමද සිදු කලේය. එසේම ඔහු විසින් ද්විත්ව තරු නාමකරණයක්ද එලි දක්වන ලදී. 1781මාර්තු 13 වන දිනය ඔහුගේ ජීවිතය වෙනස් කල දිනය වූයේය. ඒ ඔහු විසින් යුරේනස් ග්‍රහලොව සොයාගැනීම නිසාය. ජෝර්ජ් රජුට උපහාර පිණිස ඔහු එය ජෝර්ජ්ගේ තරුව ලෙස හැඳින්වීය. එම වසරේම ඔහු රාජකීය සංගමයේ සාමාජිකත්වය සඳහා යෝජනා වූ අතර කෝප්ලි පදක්කමෙන්ද පිදුම් ලැබීය. 1782 වසරේදී ඔහු රජුගේ තාරකා විද්‍යාඥයා ලෙස තේරී පත්විය. ඔහු විසින් දුරේක්‍ෂ කීපයක්ම නිපදවා හිත මිතුරු තාරකා විද්‍යාඥයින්ට විකුණු බව සඳහන්ය.


ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.

දෙවැනි කොටසට.......

රෑ අහස නිරීක්‍ෂණය කරමු

රෑ අහසේ තරු සහ ග්‍රහලෝක හඳුනා ගැනීම සමහර විට ඔබට ගැටළුවක් වනු ඇත. මෙම ගැටළුව මඟහරවා ගන්නේ කෙසේද?

රාත්‍රී අහස දෙස බැලූ සැනින් තරුවක් හා ග්‍රහලොවක් අතර වෙනස ඔබට අවබෝධ කරගැනීමට නොහැකිය. නමුත් මේ සඳහා ස්වල්ප වේලාවක් ඔබ අහසේ වස්තු දෙස බලා සිටිය යුතුය.

මෙවිට අහසේ ආලෝකය විහිදුවන වස්තුන් දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිවේ. මින් පළමුවැන්න දිදුලනවා සේ දිස්වන තාරකාය. එනම් නිවි නිවි දැල්වෙන ස්වරූපයෙන් යුත් තාරකාය. සැබැවින්ම මේවා තාරකාවේ. මේවා අපගේ සූර්යයා වගේ දීප්ත වස්තූන්ය. අපගේ සූර්යයා ශක්තිය නිපදවනවා සේ මෙම තාරකාද ශක්තිය නිපදවයි. තරුවක් ලෙස ශක්තිය නිපදවන්නේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා වලිනි. නමුත් සූර්යයාගෙන් ලැබෙන තරම් මෙම තරුවලින් ශක්තියක් අපට නොලැබෙන්නේ මේවා අපට ඉතාමත් දුරින් පිහිටන නිසාවෙනි.
එසේම තාරකා වල ඇති තවත් වැදගත් ලක්‍ෂණයක් නම් තරු දෙකක් අතර ඇති දුර වෙනස් නොවීමයි. එනම් තරු රටාවක ඇති ඕනෑම තරු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය දිනය අනුවත් වෙලාව අනුවත් වෙනස් නොවේ.

ග්‍රහලොවක් මීට වෙනස්ය. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් අපට පෙනෙන්නට ඇත්තේ නැතිනම් පියවි ඇසින් නිරීක්‍ෂණය කල හැක්කේ ග්‍රහලෝක පහක් පමණයි. මේ ග්‍රහලෝක තාරකාවලින් වෙනස්වේ. තාරකා දිදුලන ස්වභාවයක් පෙන්නුම් කලද ග්‍රහලෝක වලින් දිදුලන ස්වභාවයක් නොපෙන්වයි. මේවා ඒකාකාර ආලෝකයක් විහිදුවයි. එසේම මේවා තමන් විසින්ම ආලෝකය නිපදවාගන්නේ නැත. ග්‍රහලෝක කරන්නේ තමා මත පතිත වන ආලෝකය පරාවර්ථනය කිරීමයි. මේ පරාවර්තිත ආලෝකය අපවෙත ගමන් කිරීම නිසා දීප්තිමත්ව පෙනේ. එසේම ග්‍රහලෝක දවසින් දවස පිහිටන ස්ථාන වෙනස්වේ. මේවා තරු රටා 12 පසුබිම් කරගෙන චලනයේ යෙදේ. මේ අනුව එක් දිනයකදී එක්තරා තරුවකට ආසන්නයේ පිහිටි ග්‍රහලොවක් ඊලඟ දිනයේදී එම තරුවට දුරින් පිහිටිය හැක.
දැන් ඔබත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කර තරුහා ග්‍රහලෝක හඳුනා ගැනීමට උත්සාහ කරන්න. අපට පියවි ඇසට දැකිය හැකි ග්‍රහලෝක වන්නේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු වේ. අපට පියවි ඇසට නොපෙනෙන ග්‍රහලෝක වන්නේ යුරේනස් හා නෙප්චූන්වේ. මෙම පියවි ඇසට පෙනෙන ග්‍රහලෝක අපට එහි විශාලත්වයෙන් හා පැහැයෙන් හඳුනාගත හැකිවේ. එනම් බුධ - අඳුරු අළු පැහැයෙන්, සිකුරු - දීප්තිමත් කහ පැහැයෙන්, අඟහරු - රතු පැහැයෙන් හා සෙනසුරු - තැඹිලි කහ පැයෙන් වශයෙනි.
ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.