Sunday 8 February 2015

විශ්වයේ මංපෙත් සොයන අහසට ආදරය කරන්නෝ



ලෝකයේ විවිධ රටවල් අභ්‍යවකාශ ගවේශනය, තාරකා නිරීක්‍ෂණය යන දේවල් සඳහා මේ වන විට උනන්දුව වැඩි වෙමින් තිබෙනවා. අභ්‍යවකාශයේ තොරතුරු රැස් කිරීමට යානා යැවීම වැනි කටයුතු කිරීමට තරම් ඉදිරියෙන් සිටින රටවල් අතර අපේ පුංචි රට තවමත් පිටුපසින් සිටීම කණගාටුවට කරුණකි.  මේ අතරේ විදෙස් රටවල් සඳහා ඒ ඒ දේවල් වලට අවශ්‍ය දැනුම සඳහා ලංකාවේ විද්‍යාඥයන්ගේ සහයත් නොඅඩුව ලබා දී  තිබුනත් අප රටේ තාරකා විද්‍යාව වැනි විෂයයක් සඳහා හෝ තාරකා නිරීක්‍ෂණය කියන විෂය සඳහා උනන්දුවෙන පිරිස අඩුය. පාසල් මගින් කොළඹ ග්‍රහලෝකාගාරය නරඹන්න ගෙන ගියායින් පසුව එතැනින් ගන්නා දැනුමින් ප්‍රයෝජන ගෙන රාත්‍රී අහස නිරීක්‍ෂණය කරන අය නම් නැති තරම්ය.

වර්තමානයේ ලංකාවේ ප්‍රධාන නගර වල පාසල් වල තාරකා විද්‍යා සංගම් බිහිවෙලා තිබෙනවා. පාසල් විෂයය මාලාවේ තාරකා විද්‍යාව සඳහා ඉඩක් වෙන්වී තිබීම නිසාවෙන් ඒ ඒ සංගම් මගින් ඒ ඒ පාසල් වල තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වනවා. නමුත් එය සීමිත ලෙස නගරබද පාසල් සංඛ්‍යාවක් සඳහා පමණක් සීමා වී තිබෙනවා. නගරයෙන් ඔබ්බට ගිහින් යුද්ධයෙන් බැට කෑ අම්පාර වැනි ප්‍රදේශයක ආරම්භ වුන "ස්කයි ලවර්ස්" තාරකා සංගමය ඒ අතරේ වෙනස්ම මුහුණුවරක් ගන්න තාරකා විද්‍යා සංගමයක් වී තිබෙනවා. එමගින් දින ‍දෙක තුනක් ගමන් කර අධික වියදමක් දරා ග්‍රහලෝකාගාරය වැනි තැනක සිට ලබන දැනුමට වඩා වෙනස් ලෙස ප්‍රායෝගිකව තාරකා නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

2012.06.06 වන දින සිකුරු සංක්‍රාන්තිය අම්පාරේ පැවැත්වුන කඳවුර සමඟ කරළියට පැමිණි මෙම සංගමය කුඩා කණ්ඩායමක් විදිහට ආරම්භ වෙලා වර්තමානය වෙන විට විවිධ පාසල් වල ප්‍රායෝගික තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වන්නට කටුයුතු සකස් කරමින් සිටිනවා. 2013 වන විට සංගමයේ නිලධාරීන් කීප දෙනා සම්පූර්ණ කරගන්න එකතුවුන පිරිස 6 දෙනෙක්. පාසල් විෂයය නිර්දේශයට අනුව සැකසුන "අපූරු අහස" වැඩසටහන හා "විශ්වයේ මොහොතක්" වැඩසටහන මොවුන්ගේ වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

අම්පාර පොලීසියේ සේවයේ නියුතු අනුර බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු අම්පාර "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය එහි දෙවන අදියර ලෙස පී. එස්. චාමර සුලක්ඛන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල අම්බලන්ගොඩ ශාඛාවක් පිහිටුවා ඔවුන්ගේ වැඩසටහන් රටපුරා සිදු කරමින් තාරකා විද්‍යා දැනුම සමාජයට ලබාදීමට කටයුතු සිදුකරමින් සිටී. "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය මේ වන විට අම්පාර කලාප අධ්‍යාපන කර්යයාලයේ අනුමැතිය සහිතව පාසල් වැඩසටහන් 14කුත්, 2013 අග්නිදිග විශ්ව විද්‍යාල ව්‍යවහාරික විද්‍යා පීඨයේ වැඩසටහනකුත්, 2013 දී ISON වල්ගා තරුව නිරීක්‍ෂණය සඳහා ලංකාවේ එකම නිරීක්‍ෂණ කඳවුරත් සමඟ තවත් විවිධ වැඩසටහන් බොහෝමයක් සිදු කර ඇත.

මේ වැඩසටහන් සඳහා ඔවුන් සතුව අඟල් 3.5 කැසිග්‍රේන් (cassegrain) වර්ගයේ ස්වයංක්‍රීය දුරේක්‍ෂයක් හා අඟල් 4.5 පරාවර්ථක (Newtonian) වර්ගයේ දුරේක්‍ෂයකුත් තිබූ අතර වර්තමානයේ අඟල් 10 පරාවර්ථක (Dobsonian) වර්ගයේ දුරෙක්‍ෂයක් මගින්ද නිරීක්‍ෂණ කඳවුරු පවත්වාගෙන යයි. මේ වන විට කොලඹ ග්‍රහලෝකාගාරයේ හැරුණු විට පාසල් ළමුන් සඳහා විශ්වය නිරීක්‍ෂණයට ඇති විශාලතම දුරේක්‍ෂය මෙම අඟල් 10 පරාවර්ථක දුරේක්‍ෂයයි.
මේ අතරම ලංකාවේ පලමු වරට තාරකා හා ග්‍රහලෝක ඡායාරූපකරණය මගින් සමාජික ජාලයන් හරහා ඡායාරූප පලකරමින් සිටින මෙම තාරකා විද්‍යා සංගමයේ දැනට ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මා, ඩී. එම්. සෙනෙවිරත්න මහතා, පී. එස්. චාමර සුලක්ඛන මහත්මා, කේ. සුජිත් කුමාර මහත්මා, ජී. සී. කේ. ගනේගෙදර මහත්මා හා කේ. එච්. දර්ශන තරංග මහත්මා ක්‍රියාකරන අතර කුඩා සාමාජික පිරිසකගේ සහයද ඔවුන් හා එක්ව තිබේ. මෙවන් පිරිසක් සමඟ නිරතුරු තාරකා නිරීක්‍ෂණයේ යෙදෙමින් තොරතුරු ගවේශණය කරන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය නිරතුරු දැනුම බෙදාදීමට කටයුතු කරමින් සිටී. තාරකා විද්‍යාව සඳහා උනන්දුව ඇති අය එකතු කරමින් තවත් පුළුල් ලෙස මෙම සංගමය ව්‍යාප්ත කිරීමට හා සංගමය ශත්කිමත් කිරීමට නව සාමිජිකයින් බඳවා ගැනීමටද කැමැත්තක් දක්වන මොවුන් සමාජයික ජාලයන් හරහා පිරිස් ලියාපදිංචි කරවා ගනී. මේ සඳහා උනන්දුව දක්වන අය වෙතොත් ‍facebook සමාජයික ජාලය හරහා http://facebook.com/groups/astroampara\ යන වෙබ් ලිපිනයෙන් ලියාපදිංචිය සඳහා විස්තර ලබාගත හැක.

කිසිඳු අනුග්‍රහයක් නොලැබුනද තමන්ගේ වියදමින් සිදුකෙරෙන මෙම සංගමය සඳහා එක් දුරේක්‍ෂයක් බණ්ඩාරවෙල තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ප්‍රදානය කර තිබේ. පාසල් ළමුන්ගේ පුංචි සිත්වල විශ්වය පිළිබඳව කුතුහලය නිසා ඇතිවන ගැටලු සඳහා විසඳුම් දෙමින් මොවුන් කරනා සේවය වෙනුවෙන් අනුග්‍රහය කැමැත්තක් දක්වන අය වෙතොත් facebook පිටුව හරහා හෝ astroampara@gmail.com වේබ් ලිපිනය හරහා හෝ 0779052223 (බණ්ඩාර) දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.