Thursday 27 June 2013

අපූරු අහස වැඩසටහන

අහස, තරු, ග්‍රහලෝක අතර තිබෙන දේවල් මොනවාද? මේක අපිට හැමදාම ගැටළුවක් වුනා. ඒත් පුංචි කාලේ තරු රටා, වල්ගා තරු, හඳ අපි බොහෝම ආසාවෙන් බලපු දේවල්. අපි බොහෝම ආසාවෙන් හිටියා ඒවා බලන්න. ඒ විතරක් නෙවේ නිවි නිවි පත්තුවෙන තරු, ඇවිදින තරු බලන්න අපි මෙනෙ තරම් ආස කලාද? මේ දේවල් මොනවාද කියල කියලා දෙන්න පහ වසරේ ශිෂ්‍යත්වය විශය නිර්දේශයේ අහස ගැන පාඩමක් ඇතුලත් කරලා තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේ විශය කරුනු ඉගැන්වීම සඳහා අපි වැඩසටහනක් යෝජනා කරලා ක්‍රියාවට නංවන්න කටයුතු කලා. ඒ අපූරු අහස වැඩසටහන මගින්. ඒකෙදී අපි දරුවන්ව හැමදාම කොටුවෙලා ඉන්න පුංචි පන්ති කාමර වලින් අරන් එලිමහනක තමයි වැඩසටහන කරන්න කටයුතු සකස් කලේ. සතුට විනෝදය එක්ක ගෙවුන ඒ වැඩසටහන නම් ඇත්තෙන්ම අපූරු වැඩසටහනක්.
2013 පූනි මාසෙ 27 වැනිදා සවස 3.30ට අපි අම්පාර පාදාගොඩ විද්‍යාලයයට එක්රැස් වුනේ මේ අපූරු වැඩසටහන කරගෙන යන්න හිතාගෙන. ඒ  අම්පාර වැව්සිරිගම විද්‍යාලයයේ ගුරුවරයෙකු වන ඩී. එම්. සෙනෙවිරත්න මහත්මාගේ මෙහෙයවීම යටතේ වැව්සිරිගම, පාදාගොඩ හා දේවාලහිඳ යන පාසල් වල 5 ශ්‍රේණියේ ලමුන් එක්රැස් කරගනිමින්. මේ සඳහා විශේෂ ආරාධනාවකින් තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ගෙන්වා ගැනීමට හැකිවීම අප ලද විශාල භාග්‍යයක් වුනා. එතුමා වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීමත්, අපට දුරේක්‍ෂ හා තාක්‍ෂණික සහාය ලබා දුන්න ආධුනික තාරකා විද්‍යාඥ අම්පාර පොලීසියේ කොස්තාපල් අනුර බන්ඩාර මහත්මාගේ දැනහැඳුනුම් කම යන කරුණු නිසාවෙන් අප සමඟ බොහෝම කැමැත්තෙන් එකතු වුනා. මෙහිදී අනුර බණ්ඩාර මහත්මා කල සේවය ඉතා අගය කල යුතු වෙනවා.
මේ වැඩසටහන අතරතුර තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා මහත්මයා දුරකථනය මගින් සම්බන්ධව කුඩා දරුවන්හට වටිනා ඔවදන් පෙලක් දෙන්නට තරම් කාරුණික වුනා. එතුමාගේ වැඩ රාජකාරි අතර මෙවන් කැපකිරීමක් දරුවන් වෙනුවෙන් කිරීම ඉතා අගය කොට සැලකිය යුතුය. මේ වැඩසටහන ඉතාමත් සාර්ථක ලෙස වුන එක නම් අප දුට සත්‍යයක්. ඒ සිසුන්ගේ තිබුනාවූ උනන්දුව නිසාවෙන්. කුඩා ලමුනගේ මනසේ රඟදෙන්නාවූ ගැටළු ඉතා යුහුසුළුව ඉදිරිපත් කිරීම අපට දකින්නට ලැබුනා. ඒ අප කුඩා කල සිතූ දේවල් වාගේමයැයි සිතෙද්දී අපිත් මඳකට කුඩාවියට යන්නට වුනා. මේ මගේ මනසේ රැව්දුන් අප සිසුන් ඇසූ ප්‍රශ්ණ වලින් කීපයක්.

* පෘථිවිය බිම වැටෙන්නේ නැත්තේ ඇයි?
* හඳේ වලවල් හැදෙන්නේ කොහොමද?
* සෙනසුරුගේ වලල්ලේ තියෙන්නේ මොනවාද?
* ග්‍රහලෝක විවිධ පාට ඇයි?
* වල්ගා තරු කියන්නේ මොනවාද? හැදෙන්නේ කොහොමද?
* චන්ද්‍රිකා වල පාලනය තියෙන්නේ කොහොමද?
* සූර්යයාට එලිය එන්නේ කොහොමද?

තවත් මේ වගේම ගැටළු රාශියක් කුඩා ලමුන්ගෙන් ඇසෙද්දී අපට ඒ දේවල් වලට උත්තර දෙනවා එක්කම කාල වේලාව එක්කත් තරඟ කරන්නට සිදුවුනා. ඒ විතරක්ම නෙවෙයි ලමුන්ගේ කුසලතා කැටිකරගනිමින් වැඩසටහන ඉදිරියට ගෙනයද්දී වෘශ්චික තරු රටාව, සිකුරු ග්‍රහයා, සඳේ ආවාට වැනි දෑ අප දුරේක්‍ෂ මගින් නරඹන්නට හැකිවුනා. නමුත් රාත්‍රී 10.30 පමණ වෙද්දී අධික වලාකුළු ස්වභාවයක් අහසේ තිබූ නිසා අඳුරු අහසක් දක්නට ලැබුනත් වැඩසටහන හා සම්බන්ධ වුන 90% කට අධික පිරිසක් ඒ වෙද්දිත් අහස නිරීක්‍ෂණය කර අවසන් වී තිබීම අපගේ සතුටට හේතුවුනා.
අධ්‍යාපනය පන්ති කාමර වලට සීමා නොකර එලිමහනේ ප්‍රායෝගික ලෙස ක්‍රියාත්මක කරවීම ඉතා සාර්ථක ක්‍රමයක් බැව් පෙන්වාදීමට මෙම අපූරු අහස වැඩසටහන කදිම උදාහරනයක් වුනා. සඳ, තරු හා අහස අතර තනිවුන අප නිකන්ම නිකන් උඩ බලන් ඉන්නේ නැතිව රාත්‍රී අහස අධ්‍යයනය කිරීමත් ඉතා ආකර්ශණීය මාතෘකාවක් බව මටනම් හොඳින්ම තේරුම් ගිය කරුණක් වුනා. පරිඝනක ක්‍රියා කරවීම හා තොරතුරු එක්රැස් කර ලබාදීම සඳහා මාව මේ වැඩසටහන වෙත සම්බන්ධ කරගැනීම සම්බන්ධව මමත් අනුර බණ්ඩාර මහත්මයාට මේ වෙලාවෙදී ස්තූතිවන්ත වෙන්න ඕන. කොහොම වුනත් අප විශ්ව විද්‍යාලයේත් මෙවන් තාරකා නිරීක්‍ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමේ අදහස පෙර දැරිව අප එතැනින් පිටවුනා.

කොහොම වුනත් අවසානයේ අපි විශේෂයෙන් තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මයාට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ විතරක්ම නෙවෙයි දුරේක්‍ෂ හා උපකරණ සපයපු අනුර බණ්ඩාර මහත්මාටත් අපි විශේස ස්තූතියක් වෙන්න ඕන මේ සියල්ල සම්බන්ධ කරල දුන්නාට. ඒ විතරක් නෙවෙයි ගුරු උපදේශක ඩී. එම් සිරිනන්ද මහත්මා, ඩී. එම් සෙනෙවිරත්න ගුරු මහත්මා, කුලසිරි මනතුංග මහත්මා, එන් අයි සමරනායක මහත්මා, අදාල පාසල්වල විදුහල්පතිවරුන්, දුරදක්න හැසිරවීමේ සහයක විදිහට ආව චමින්ද කේ ගනේගෙදර හා දර්ශන තරංග සොයුරන්ටත් මේ වෙලාවේදීම ස්තූතිවන්ත වෙන්න ඕන.

අපේ කැමරා වල සටහන් වූ දර්ශන කීපයක්.....

Saturday 22 June 2013

යුරේනස් සොයාගත් විලියම් හර්ෂෙල් - දෙවන කොටස


1783 වසරේදී ඔහු කැරොලයින්ටද වෙනමම දුරේක්‍ෂටයක් ලබා දෙමින් ඇයට ස්වාධීනව නිරීක්‍ෂණ කටයුතු කිරීමට මං සලසා දුනි. ඇය වල්ගා තරු පිළිබඳ සොයා බැලුවේ එම දුරේක්‍ෂෙයනි. ඇය සිය ජීවිත කාලයම විලියම්ට සහයක ලෙස ඔහුගේ නිරීක්‍ෂණයන් සටහන් කරමින් උන්නාය. 1788 වසරේදී විලියම් විසින් වැන්දඹුවක් වන මෙරියිට් විවාහ කරගන්නා තුරුම මේ සහෝදර සහෝදරී එක්ව කටයුතු කලේය. විලියම්ගේ පසු කාලීන සොයා ගැනීම් අතර සෙනසුරුගේ උපග්‍රහයින් දෙදෙනෙකු වූ මීමාස් (MIMAS) සහ එන්සෙලඩස් (ENSELADES)ද, යුරේනස්ගේ උපග්‍රහයින් දෙදෙනෙකු වන ටයිටේනියා (TITANIA) සහ ඔබරන් (OBAREN) ද වේ.
නිහාරිකා සොයාගැනීම, ද්විත්ව තාරකා හඳුනාගැනීම ඔහුගේ නිරීක්‍ෂණ අතර විය. විශ්වය තුල සෞරග්‍රහ මණ්ඩලය චලනය වන බව පැවසූ ප්‍රථමයාද විලියම් හර්ෂල්ය. ප්‍රිස්මයන් තුලින් සූර්යයාලෝකය ගමන් කරවා වර්ණාවලියේ රතු අන්තයට උෂ්ණත්වමානයක් තබමින් එහි උෂ්ණත්වය වෙනස්වීම දුටු විලියම් අධෝරක්ත විකිරණය ලොවට හඳුන්වා දුන්නේය.
විලියම් හා මේරි හට එක් පුතෙකු උපන්නේය. පසුකාලීනව තාරකා විද්‍යඥයෙකු බවට පත්වූ විලියම් උපත ලබා ඇත්තේ විලියම් හර්ෂල්ගේ නිරීක්‍ෂණාගාරය තුලදීය. 1816 වර්ෂයේදී ශ්‍රීමත් යන නාමයෙන් පිදුම් ලද විලියම් හර්ෂල් ලන්ඩන් තාරකා විද්‍යා සංගමය බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය ලෙස නම් කිරීමට අඩිතාලම දැමූ අයෙකි. 1822 අගෝස්තු 25 වන දින ඔහුගේ නිරීක්‍ෂනාගාරයේදීම මිය ගියේය. විශ්වයේ දැනට හඳුනාගෙන ඇති විශාලතම තාරකා දෙකෙන් එකක් හර්ෂල්ගේ ගානට් තාරකාව ලෙසද, හඳේ ආවාටයක්, අඟහරුගේ ද්‍රෝනියක්, මීමාස් උපග්‍රහයාගේ ආවාටයක්ද, වල්ගා තරුවක්ද හර්ෂල්ගේ ඇවෑමෙන් පසු ඔහුගේ නමින් නම් කෙරුණි.

ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.


Friday 21 June 2013

යුරේනස් සොයාගත් විලියම් හර්ෂෙල් - පළමු කොටස

ක්‍රිස්තු වර්ශ 1737-1822
ජර්මනියේ ඉපැරණි බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රීමත් ෆෙඩ්රික් විලියම් හර්ෂෙල් විද්‍යාඥයා ලොව ප්‍රසිද්ධ වූයේ යුරේනස් ග්‍රහලොව සොයා ගැනීමෙන් අනතුරුවය. අධෝරක්ත විකිරණ යොදාගැනීම ඇතුළු තවත් දැවැන්ත සොයාගැනීම් මොහු විසින් ලෝකයාට දායාද කලේය.

දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක උපත ලද මොහුගේ මුල් නාමය වූයේ ෆයිරිච් විලියම් හර්ෂෙල්ය. ජර්මනියේ හැනෝවර් ප්‍රදේශයේ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සේවය කල විලියම්ගේ පියා නිසා මොහු බෙහෙවින් සංගීතයට ප්‍රිය කලේය. මොහු සිය සොහොයුරා සමඟ පියාගේ අභාවයෙන් පසු හමුදා තූර්ය වාදක කණ්ඩායමට සේවය කල අතර මෙම කණ්ඩායම පසුව එංගලන්තය බලා යවන ලදී. එහිදී හමුදා සේවයෙන් ඉවත් වූ දෙසොහොයුරෝ ලන්ඩනය බලා පිටත් විය. තම නම ෆෙඩ්රික් විලියම් ලෙස වෙනස් කල ඔහු ඉතා ඉක්මනින් ඉංග්‍රීසි උගත්තේය. වයස අවුරුදු 19දී ඔහු දක්‍ෂ සංගීත ගුරුවරයෙකු විය. දක්‍ෂ වයලීන් වාදකයෙකු හා පියානෝ වාදකයෙකු වූ ඔහු කෙටි කලකින්ම එංගලන්තයේ බාක්වල සමූහ වාදන වල ප්‍රධානියා බවට පත්විය. 1772 වසරේදී ඔහුලේ සොහොයුරිය කැරලැයින් ඔහු සමඟ බාක් හි නව කිංසි පාරේ පිහිටි නිවසේ (දැන් එය හර්ෂල්ගේ තාරකා විද්‍ය කෞතුකාගාරය ලෙස හැඳින්වේ.) ජීවත් වීමට පැමිණියේය. ඇය දක්‍ෂ ඒකල ගායිකාවක් විය. ඔහුගේ අන් සොහොයුරන් වන ඩයිරිච්, ඇලෙක්සැන්ඩර්, හා ජෙකොබ් ද ඒ වන විට බාක් හි දක්‍ෂ සංගීතඥයින් ලෙස නමක් දිනා සිටියේය.
හර්ෂල්ගේ සංගීතයට වූ උනන්දුව ඔහුව ගණිතයට හා තාරකා විද්‍යාවට යොමු කලේය. මෙම ආශාව තවත් වැඩි දියුණු වූයේ 1773 වසරෙන් පසු ඔහු විසින් දුරේක්‍ෂයක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය. ඔහු විසින් හඳ නිරීක්‍ෂණය කරන අතරතුරදීම හඳේ කඳුවල උස මැනීමද සිදු කලේය. එසේම ඔහු විසින් ද්විත්ව තරු නාමකරණයක්ද එලි දක්වන ලදී. 1781මාර්තු 13 වන දිනය ඔහුගේ ජීවිතය වෙනස් කල දිනය වූයේය. ඒ ඔහු විසින් යුරේනස් ග්‍රහලොව සොයාගැනීම නිසාය. ජෝර්ජ් රජුට උපහාර පිණිස ඔහු එය ජෝර්ජ්ගේ තරුව ලෙස හැඳින්වීය. එම වසරේම ඔහු රාජකීය සංගමයේ සාමාජිකත්වය සඳහා යෝජනා වූ අතර කෝප්ලි පදක්කමෙන්ද පිදුම් ලැබීය. 1782 වසරේදී ඔහු රජුගේ තාරකා විද්‍යාඥයා ලෙස තේරී පත්විය. ඔහු විසින් දුරේක්‍ෂ කීපයක්ම නිපදවා හිත මිතුරු තාරකා විද්‍යාඥයින්ට විකුණු බව සඳහන්ය.


ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.

දෙවැනි කොටසට.......

රෑ අහස නිරීක්‍ෂණය කරමු

රෑ අහසේ තරු සහ ග්‍රහලෝක හඳුනා ගැනීම සමහර විට ඔබට ගැටළුවක් වනු ඇත. මෙම ගැටළුව මඟහරවා ගන්නේ කෙසේද?

රාත්‍රී අහස දෙස බැලූ සැනින් තරුවක් හා ග්‍රහලොවක් අතර වෙනස ඔබට අවබෝධ කරගැනීමට නොහැකිය. නමුත් මේ සඳහා ස්වල්ප වේලාවක් ඔබ අහසේ වස්තු දෙස බලා සිටිය යුතුය.

මෙවිට අහසේ ආලෝකය විහිදුවන වස්තුන් දෙකක් ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකිවේ. මින් පළමුවැන්න දිදුලනවා සේ දිස්වන තාරකාය. එනම් නිවි නිවි දැල්වෙන ස්වරූපයෙන් යුත් තාරකාය. සැබැවින්ම මේවා තාරකාවේ. මේවා අපගේ සූර්යයා වගේ දීප්ත වස්තූන්ය. අපගේ සූර්යයා ශක්තිය නිපදවනවා සේ මෙම තාරකාද ශක්තිය නිපදවයි. තරුවක් ලෙස ශක්තිය නිපදවන්නේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා වලිනි. නමුත් සූර්යයාගෙන් ලැබෙන තරම් මෙම තරුවලින් ශක්තියක් අපට නොලැබෙන්නේ මේවා අපට ඉතාමත් දුරින් පිහිටන නිසාවෙනි.
එසේම තාරකා වල ඇති තවත් වැදගත් ලක්‍ෂණයක් නම් තරු දෙකක් අතර ඇති දුර වෙනස් නොවීමයි. එනම් තරු රටාවක ඇති ඕනෑම තරු දෙකක් අතර ඇති දුර ප්‍රමාණය දිනය අනුවත් වෙලාව අනුවත් වෙනස් නොවේ.

ග්‍රහලොවක් මීට වෙනස්ය. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8න් අපට පෙනෙන්නට ඇත්තේ නැතිනම් පියවි ඇසින් නිරීක්‍ෂණය කල හැක්කේ ග්‍රහලෝක පහක් පමණයි. මේ ග්‍රහලෝක තාරකාවලින් වෙනස්වේ. තාරකා දිදුලන ස්වභාවයක් පෙන්නුම් කලද ග්‍රහලෝක වලින් දිදුලන ස්වභාවයක් නොපෙන්වයි. මේවා ඒකාකාර ආලෝකයක් විහිදුවයි. එසේම මේවා තමන් විසින්ම ආලෝකය නිපදවාගන්නේ නැත. ග්‍රහලෝක කරන්නේ තමා මත පතිත වන ආලෝකය පරාවර්ථනය කිරීමයි. මේ පරාවර්තිත ආලෝකය අපවෙත ගමන් කිරීම නිසා දීප්තිමත්ව පෙනේ. එසේම ග්‍රහලෝක දවසින් දවස පිහිටන ස්ථාන වෙනස්වේ. මේවා තරු රටා 12 පසුබිම් කරගෙන චලනයේ යෙදේ. මේ අනුව එක් දිනයකදී එක්තරා තරුවකට ආසන්නයේ පිහිටි ග්‍රහලොවක් ඊලඟ දිනයේදී එම තරුවට දුරින් පිහිටිය හැක.
දැන් ඔබත් රාත්‍රී අහස නිරීක්‍ෂණය කර තරුහා ග්‍රහලෝක හඳුනා ගැනීමට උත්සාහ කරන්න. අපට පියවි ඇසට දැකිය හැකි ග්‍රහලෝක වන්නේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු වේ. අපට පියවි ඇසට නොපෙනෙන ග්‍රහලෝක වන්නේ යුරේනස් හා නෙප්චූන්වේ. මෙම පියවි ඇසට පෙනෙන ග්‍රහලෝක අපට එහි විශාලත්වයෙන් හා පැහැයෙන් හඳුනාගත හැකිවේ. එනම් බුධ - අඳුරු අළු පැහැයෙන්, සිකුරු - දීප්තිමත් කහ පැහැයෙන්, අඟහරු - රතු පැහැයෙන් හා සෙනසුරු - තැඹිලි කහ පැයෙන් වශයෙනි.
ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.