Monday 16 November 2015

වසර අවසානයේ පැමිණෙන කැටාලිනා ධූමකේතුව

2013 ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා Catalina Sky Survey නිරීක්‍ෂකයන් විසින් 0.68m තරම් වූ Schmidt-Cassegrain වර්ගයේ ටෙලෙස්කොපයක් මගින් සොයාගත් කැටාලිනා (Catalina) ධූමකේතුව (C/2013 US10) 2015 නොවැම්බර් මස 15 වැනිදා සිට සූර්ය සමීපයෙන් කක්‍ෂ ගතවේ. වසර මිලියනයක කක්‍ෂ කාලයක් අවසන් කරමින් පැමිණන මෙම ධූමකේතුව කිලෝමීටර 20ක පමණ වර්ග ප්‍රමාණයකින් යුක්ත වේ. 2015 නොවැම්බරය වන විට එහි න්‍යෂ්ථිය තත්පරයට කිලෝග්රෑම් 3000ක ප්‍රමාණයක් ඌර්ධවපාතනය කරන්නට පටන්ගනු ඇත.
2015 සැප්තැම්බරයේදී එහි දෘශ්ඨික විශාලත්වය 6ක් පමණ වූ අතර නොවැම්බරයේදී එහි උපරිම දෘෂ්ඨික විශාලත්වය වන 5ක අගයට ලඟාවනු ඇත. ද්විත්ව වලිගයකින් සමන්විත මෙය කොල පැහැති හිසකින් සමන්විතවේ. වලිගයේ දිග සාමාන්‍යයෙන් 800000km තරම් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය 46,400 m/s වේගයෙන් ගමන් කරයි.
 
 
එය දකුණු අර්ධගෝලය ආසන්නයෙන් ගමන් කරන්නේ පියවි ඇසට යාන්තම් පෙනෙන තරම් වූ ප්‍රමාණයෙන් වුවත් ටෙලෙස්කෝපයක් ආධාරයෙන් නිරීක්‍ෂණය කල හැක. ක්‍රමයෙන් උතුරු අර්ධ ගෝලය කරා සමකය හරහා ගමන් කරන බැවින් 2016 ජනවාරි මාසය වෙද්දී එඬේරා (Bootes) තාරකා රටාවේ දීප්තිමත්ම තාරකාව වන Arcturus හරහා ගමන් කරනු ඇත. එම කාලයේදී ධූම කේතුව සිය උපරිම දීප්තියට ලඟාවන අතර පියවි ඇසින් නැරඹිය හැකිවනු ඇත. 2015 දෙසැම්බර් මාසයේ 5 වැනිදා වන විට කන්‍යා රාශියේ Syrma තාරකාව ආසන්නයෙන් ගමන් තරන ධූමකේතුව 2016 ජනවාරි 6 වනවිට Arcturus තාරකාවට අංශකයක් පමණ ආසන්නයට පැමි‍ණේ. උදෑසන 5-6 කාලයේදී දර්ශනය වන මෙම ධූමකේතුව නිරීක්‍ෂණය ඔබට පහසු වනු ඇත.

Friday 3 April 2015

2015.04.04 චන්‍ද්‍රග්‍රහණය

කට්ටිය උණුහුමේ බලන් ඉන්නේ 2015 අප්‍රේල් මාසේ පේනව කිව්ව චන්‍ද්‍රග්‍රහණය බලන්න වෙන්න ඕන. හැබැයි ඉතින් බලාපොරොත්තු සිඳින්න වෙන්නේ අපට ලංකාවේ ඉඳන් නම් පූර්ණ චන්‍ද්‍රග්‍රහණය බලන්න වෙන්නේ නෑ. බලන්න පුළුවන් වුනොත් වෙන්නේ අවසාන ටික තමයි. ඒකත් නැගෙනහිර අහසට.

සූරුයග්‍රහණයේ හොඳම හරිය පේන්නේ නැගෙනහිර ඔස්ට්‍රේලියාව පැත්තට. අපට පේන්නේ අන්තිම ටික මම ඒ ගැන map එකකුයි අපේ ලංකාවේ වේලාවෙන් ඒ ඒ සිදුවීම් සිදුවෙන වෙලාවයි දාන්නම්. එවිට පුළුවන් හිතාගන්න අපේ රටට මේක පේන්නේ කොයි තරම් දුරකටද කියල.
මෙන්න වෙලාවල් ටික.
ඒ වුනාට නැගෙනහිර අහසේ හඳ පායන්නේ හවස 6.15ට විතර ඒ නිසා හවස 6.40ට විතර අපට චන්‍ද්‍රග්‍රහණයේ අන්තිම ටික තමයි බලන්න වෙන්නේ. ඒ කියන්නේ අපට තියෙන්නේ විනාඩි 30ක වගේ කාලයක් තමයි බලන්න. හවස 6.40 විතර හඳ පෙනේවි මෙන්න මේ ගානට විතර.

Thursday 12 March 2015

අති විශාල පාරා වළලු සහිත J1407b ග්‍රහයා

සෙනසුරු ග්‍රහයාගේ වළලු මෙන් දෙිය ගුණයක විෂ්කම්භයකින් යුතු වළලු සහිත විශාල ග්‍රහයෙකු සොයා ගැනීමට ඇමරිකානු හා බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ. J1407b ලෙස මෙය නම් කර ඇති මෙම ග්‍රහයා පෘථිවියෙන් ආලෝක වර්ෂ 430ක් ඈතින් ඇති තාරකාවක් වටා භ්‍රමණය වේ. එහි විවිධ ප්‍රමාණයෙන් යුතු වළලු 30ක් පමණ ඇතැයි ද මොවුන් පවසයි. නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ මැතිව් කෙන්වර්ති පවසනුයේ එය බ්‍රහස්පති මෙන් 10ගුණයක් - 40 ගුණයක් අතර විශාල විය හැකි බවයි.

ග්‍රහලෝකයේ සිට කිලෝමීටර මිලියන 30කින් පටන් ගන්නා වළලු ග්‍රහයාගේ සිට කිලෝමීටර මිලියන 90ක් දක්වා පරාසයේ පැතිර ඇති බව පවසයි. එමෙන්ම මේ තාක් විශාලව ඇත්තේ දූවිලි වලාවක් බවත් එය රඳවා ගැනීමට ග්‍රහයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000-2000ත් අතර උෂ්ණත්වයක ඇතියිද විශ්වාස කරයි. අප සෙනසුරු වටා ඇති වළලු පද්ධතිය වෙනුවට මෙම වළලු තැබුවොත් එය පෝයදා සඳ මෙන් කීප ගුණයක් විශාලව පියවි ඇසින් දැකිය හැකි බැව් කෙන්වර්ති පවසයි.


මෙම ග්‍රහයා භ්‍රමණය වන තාරකාව වසර මිලියන 16ක් පමණ පැරණිබ බවට හෙළි කරගෙන තිබේ. මෙය පෘථිවියේ හිරුගේ වයස වන බිලියන 4.59 සමඟ සැසදු විට මෙම තාරකාවත් ග්‍රහයනුත් විශ්වයේ බාලයන් ලෙස සැළකේ. මෙම ග්‍රහයා වටා පාරා වළලු ඇති දැයි විද්‍යාඥයින්ට නිශ්චිත දැනුමක් නැති වුවද එය එසේ නම් එම වළලු අනාගතයේදි මෙම ග්‍රහයා වටා චන්ද්‍රයන් බවට පත්විය හැකි යැයි විද්‍යාඥයින් අනුමාන කරති.

Sunday 8 February 2015

විශ්වයේ මංපෙත් සොයන අහසට ආදරය කරන්නෝ



ලෝකයේ විවිධ රටවල් අභ්‍යවකාශ ගවේශනය, තාරකා නිරීක්‍ෂණය යන දේවල් සඳහා මේ වන විට උනන්දුව වැඩි වෙමින් තිබෙනවා. අභ්‍යවකාශයේ තොරතුරු රැස් කිරීමට යානා යැවීම වැනි කටයුතු කිරීමට තරම් ඉදිරියෙන් සිටින රටවල් අතර අපේ පුංචි රට තවමත් පිටුපසින් සිටීම කණගාටුවට කරුණකි.  මේ අතරේ විදෙස් රටවල් සඳහා ඒ ඒ දේවල් වලට අවශ්‍ය දැනුම සඳහා ලංකාවේ විද්‍යාඥයන්ගේ සහයත් නොඅඩුව ලබා දී  තිබුනත් අප රටේ තාරකා විද්‍යාව වැනි විෂයයක් සඳහා හෝ තාරකා නිරීක්‍ෂණය කියන විෂය සඳහා උනන්දුවෙන පිරිස අඩුය. පාසල් මගින් කොළඹ ග්‍රහලෝකාගාරය නරඹන්න ගෙන ගියායින් පසුව එතැනින් ගන්නා දැනුමින් ප්‍රයෝජන ගෙන රාත්‍රී අහස නිරීක්‍ෂණය කරන අය නම් නැති තරම්ය.

වර්තමානයේ ලංකාවේ ප්‍රධාන නගර වල පාසල් වල තාරකා විද්‍යා සංගම් බිහිවෙලා තිබෙනවා. පාසල් විෂයය මාලාවේ තාරකා විද්‍යාව සඳහා ඉඩක් වෙන්වී තිබීම නිසාවෙන් ඒ ඒ සංගම් මගින් ඒ ඒ පාසල් වල තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වනවා. නමුත් එය සීමිත ලෙස නගරබද පාසල් සංඛ්‍යාවක් සඳහා පමණක් සීමා වී තිබෙනවා. නගරයෙන් ඔබ්බට ගිහින් යුද්ධයෙන් බැට කෑ අම්පාර වැනි ප්‍රදේශයක ආරම්භ වුන "ස්කයි ලවර්ස්" තාරකා සංගමය ඒ අතරේ වෙනස්ම මුහුණුවරක් ගන්න තාරකා විද්‍යා සංගමයක් වී තිබෙනවා. එමගින් දින ‍දෙක තුනක් ගමන් කර අධික වියදමක් දරා ග්‍රහලෝකාගාරය වැනි තැනක සිට ලබන දැනුමට වඩා වෙනස් ලෙස ප්‍රායෝගිකව තාරකා නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දීම මෙම සංගමයේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

2012.06.06 වන දින සිකුරු සංක්‍රාන්තිය අම්පාරේ පැවැත්වුන කඳවුර සමඟ කරළියට පැමිණි මෙම සංගමය කුඩා කණ්ඩායමක් විදිහට ආරම්භ වෙලා වර්තමානය වෙන විට විවිධ පාසල් වල ප්‍රායෝගික තාරකා නිරීක්‍ෂණ කඳවුරු පවත්වන්නට කටුයුතු සකස් කරමින් සිටිනවා. 2013 වන විට සංගමයේ නිලධාරීන් කීප දෙනා සම්පූර්ණ කරගන්න එකතුවුන පිරිස 6 දෙනෙක්. පාසල් විෂයය නිර්දේශයට අනුව සැකසුන "අපූරු අහස" වැඩසටහන හා "විශ්වයේ මොහොතක්" වැඩසටහන මොවුන්ගේ වැඩසටහන් අතර ප්‍රමුඛස්ථානයක් ගනු ලබනවා.

අම්පාර පොලීසියේ සේවයේ නියුතු අනුර බණ්ඩාර මහත්මාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුනු අම්පාර "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය එහි දෙවන අදියර ලෙස පී. එස්. චාමර සුලක්ඛන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල අම්බලන්ගොඩ ශාඛාවක් පිහිටුවා ඔවුන්ගේ වැඩසටහන් රටපුරා සිදු කරමින් තාරකා විද්‍යා දැනුම සමාජයට ලබාදීමට කටයුතු සිදුකරමින් සිටී. "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය මේ වන විට අම්පාර කලාප අධ්‍යාපන කර්යයාලයේ අනුමැතිය සහිතව පාසල් වැඩසටහන් 14කුත්, 2013 අග්නිදිග විශ්ව විද්‍යාල ව්‍යවහාරික විද්‍යා පීඨයේ වැඩසටහනකුත්, 2013 දී ISON වල්ගා තරුව නිරීක්‍ෂණය සඳහා ලංකාවේ එකම නිරීක්‍ෂණ කඳවුරත් සමඟ තවත් විවිධ වැඩසටහන් බොහෝමයක් සිදු කර ඇත.

මේ වැඩසටහන් සඳහා ඔවුන් සතුව අඟල් 3.5 කැසිග්‍රේන් (cassegrain) වර්ගයේ ස්වයංක්‍රීය දුරේක්‍ෂයක් හා අඟල් 4.5 පරාවර්ථක (Newtonian) වර්ගයේ දුරේක්‍ෂයකුත් තිබූ අතර වර්තමානයේ අඟල් 10 පරාවර්ථක (Dobsonian) වර්ගයේ දුරෙක්‍ෂයක් මගින්ද නිරීක්‍ෂණ කඳවුරු පවත්වාගෙන යයි. මේ වන විට කොලඹ ග්‍රහලෝකාගාරයේ හැරුණු විට පාසල් ළමුන් සඳහා විශ්වය නිරීක්‍ෂණයට ඇති විශාලතම දුරේක්‍ෂය මෙම අඟල් 10 පරාවර්ථක දුරේක්‍ෂයයි.
මේ අතරම ලංකාවේ පලමු වරට තාරකා හා ග්‍රහලෝක ඡායාරූපකරණය මගින් සමාජික ජාලයන් හරහා ඡායාරූප පලකරමින් සිටින මෙම තාරකා විද්‍යා සංගමයේ දැනට ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මා, ඩී. එම්. සෙනෙවිරත්න මහතා, පී. එස්. චාමර සුලක්ඛන මහත්මා, කේ. සුජිත් කුමාර මහත්මා, ජී. සී. කේ. ගනේගෙදර මහත්මා හා කේ. එච්. දර්ශන තරංග මහත්මා ක්‍රියාකරන අතර කුඩා සාමාජික පිරිසකගේ සහයද ඔවුන් හා එක්ව තිබේ. මෙවන් පිරිසක් සමඟ නිරතුරු තාරකා නිරීක්‍ෂණයේ යෙදෙමින් තොරතුරු ගවේශණය කරන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය නිරතුරු දැනුම බෙදාදීමට කටයුතු කරමින් සිටී. තාරකා විද්‍යාව සඳහා උනන්දුව ඇති අය එකතු කරමින් තවත් පුළුල් ලෙස මෙම සංගමය ව්‍යාප්ත කිරීමට හා සංගමය ශත්කිමත් කිරීමට නව සාමිජිකයින් බඳවා ගැනීමටද කැමැත්තක් දක්වන මොවුන් සමාජයික ජාලයන් හරහා පිරිස් ලියාපදිංචි කරවා ගනී. මේ සඳහා උනන්දුව දක්වන අය වෙතොත් ‍facebook සමාජයික ජාලය හරහා http://facebook.com/groups/astroampara\ යන වෙබ් ලිපිනයෙන් ලියාපදිංචිය සඳහා විස්තර ලබාගත හැක.

කිසිඳු අනුග්‍රහයක් නොලැබුනද තමන්ගේ වියදමින් සිදුකෙරෙන මෙම සංගමය සඳහා එක් දුරේක්‍ෂයක් බණ්ඩාරවෙල තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ප්‍රදානය කර තිබේ. පාසල් ළමුන්ගේ පුංචි සිත්වල විශ්වය පිළිබඳව කුතුහලය නිසා ඇතිවන ගැටලු සඳහා විසඳුම් දෙමින් මොවුන් කරනා සේවය වෙනුවෙන් අනුග්‍රහය කැමැත්තක් දක්වන අය වෙතොත් facebook පිටුව හරහා හෝ astroampara@gmail.com වේබ් ලිපිනය හරහා හෝ 0779052223 (බණ්ඩාර) දුරකතන අංකයට ඇමතීමෙන් විස්තර ලබාගත හැක.

Friday 9 January 2015

රාත්‍රී අහස නිරීක්‍ෂණය කරමු.....

අද කාලයේ රාත්‍රී අහස නිරීක්‍ෂණය කරනවා කියන දේ පිලිබඳව කෙනෙකුගේ හිත යොමුවනවා ගොඩක්ම අඩුයි. මට නම් හිතෙන විදිහට ඒකට ගොඩක්ම හේතුව වෙලා තියෙන්නේ රූපවාහිනිය. නමුත් විශ්මිත ‍දේවල් වල අපූරුව සුන්දරත්වයක් විඳින්න පුලුවන් විනෝදාංශ වලින් එකක් තමයි මේ කියන්නා වූ රාත්‍රී අහස නිරීක්‍ෂණය කියන්නේ. ‍මේ සූදානම ඒ පිලිබඳ පොඩි කාරණා ටිකක් කියා දෙන්න.

පළවෙනිම කාරණාව වෙන්නේ කොහේ ඉඳන්ද අපිට අහස නිරීක්‍ෂණය කරන්න පුලුවන්. මොකද හැමතැනම ඉඳන් අහස නිරීක්‍ෂණය කරන්න බැහැ. අපට ඒකට ආලෝක දූෂණයෙන් තොරවුන අහසක් එහෙමත් නැතිනම් හොඳින් අඳුර තියෙන පරිසරයක් අවශ්‍යයයි. අපි අවට ආලෝකය තියෙද්දී අපේ ඇස් අඳුරට පුරුදු වෙනවා අඩුයි ඒ නිසා අපිට දකින්න තියෙන පරාසය කුඩා වෙනවා. ඒ නිසා නගරයේ ඉන්න කෙනෙකුට වඩා ගම්බද කෙනෙකුට අහස නිරීක්‍ෂණය පහසු වෙනවා. නමුත් නගරබද කෙනෙකු වුනත් ආලෝක දූෂණය අඩු පරිසරයක් තොරා ගන්න පුළුවන් නම් වැඩි පරාසයක් දකින්න පුළුවන් වෙයි. තව දෙයක් තමා අහසේ ස්වභාවය විවෘත අහසක් තියෙනවා නම් වැඩි පරාසයක් දකින්න පුළුවන්. ඒ වගේම කාලගුණික තත්ත්වය ඒ කියන්නේ වලාකුලු වලින් තොරවුන පැහැදිලි අහසක් තිබීමත් වැදගත් වෙනවා.

දෙවැනි කාරණාව මොනවද අපට ඕන වෙන්නේ අහස නිරීක්‍ෂණය කරන්න. ඇත්තෙන්ම වැදගත්ම දේ වෙන්නේ අපි බලන්නේ හා දකින්න පුළුවන් මොනවද කියන දේ සඳහන් සටහන් තියගෙන්න එක. star chart එකක් තියාගන්න ඕන තමන්ගේ ප්‍රදේශයට හරියන විදිහට. මොකද විවිධ රටවල් වල විවිධ ප්‍රදේශ වලට පෙනෙන අහස විවිධයි. ඒ වගේම ඒ සටහන කියවන්න ආලෝකයක් ඕන කරනවා. ඒ සඳහා අපි ගන්නේ රතු ආලෝකයක්. ඒකට සාමාන්‍ය ටෝච් එකක් වටේ රතුපාට සෙලෝපේන් කොල වලින් ආවරණය කරල හදා ගන්න පුලුවන්. ඒ වගේම අහසේ තියෙන මූලික තරු රටා පිලිබඳ අවබෝධයක් ලබා තිබීමත් වැදගත්. ඒ තරු රටා වල විවිධ වැදගත් කරුණු හා හඳුනාගැනීම පිලිබඳ දැන ගන්න ඕන. ඒ වගේම අපි ඒ දකින දේවල් දැක්ක දිනය, වෙලාව, බලපු උපකරණය ‍වගේ දේවල් පිලිබඳ සටහන් තබා ගැනීමත් වැදගත් වෙනවා.


තුන්වෙනි කාරණාව වෙන්නේ කා සමඟද නිරීක්‍ෂණයක් කල හැක්කේ කියන එක. ඇත්තටම ඒ දේ කරන්න කවුරුත් ඉන්න ඕන නැහැ. තනියම ඒ දේ කරන්න පුළුවන්. නමුත් ඒ දකින දේ පිළිබඳව සාකච්චා කරන්න වගේම ගැටලු නිරාකරණය කරන්න අපට කීපදෙනෙක් ඉන්නවානම් ගොඩක් හොඳයි. ඒත් නිරීක්‍ෂණයේදී නම් තමන් විතරක් ඉඳීමෙන් ඒ දේ පහසුවෙනවා සහ තමන්ගේ සිත ඒ අරමුණේ තියාගන්න පහසුවක් වෙනවා.

හතරවෙනි කරුණ තමා කොයි වගේ වෙලාවන් වලදීද අපිට අහස නිරීක්‍ෂණයක් කරන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ සඳහා පැහැදිලි අහසක් තියෙන ආලා්ක දූෂණයෙන් තොර වුන ඕනෑම වෙලාව් යොදාගන්න පුලුවන්. හොඳම දේ කාලගුණය ගැන පොඩියක් අවධානයෙන් වැඩේ පටන් ගන්න එක.

අන්තිමට අපි අහන දේ තමා අපට තව මොනවත් ඕන නැද්ද කියන කාරණාව. ඇත්තෙන්ම ඕන නැහැ. මූලික අහස නිරීක්‍ෂණයකදී අපට ඕන වෙන්නේ මේ කාරණා විතරයි. එතැනින් ඇස් පුරුදු කරල පසුව අපිට පුළුවන් දුරදක්න දෙනෙති වගේ දේවල් පාවිච්චි කරන්න නමුත් ඒ කොයිදේ කරන්නත් මේ කිව්ව කාරණා ටික නම් වැදගත් වෙනවා.

කොහොම වුනත් මේ විදහට ඇහැ පුරුදු කරල ඔයාල දකින දේ එක්ක සොයාගන්න පුළුවන් දේ අපමණයි. මොකද මේ අපි දකින අහස තාමත් ගවේශණය කරල නැහැ වගේම අලුත් දේවල් ගොඩක් වෙන්න පුළුවන් තැනක්. ඒ නිසා අහස නිරීක්‍ෂණය එක්ක අහසට ආදරය කරන්න පුරුදු වීමත් එක්ක අපූරු සුන්දරත්වයක් විඳින්න ලැවේවා කියලයි අපි අහසට ආදරය කර‍න්නන්ගේ සංගමයේ ප්‍රාර්ථනාව වෙන්නේ.

ලිපිය සකස් කලේ සුලක්ඛණ