Monday 16 November 2015

වසර අවසානයේ පැමිණෙන කැටාලිනා ධූමකේතුව

2013 ඔක්තොම්බර් මාසයේ 31 වැනිදා Catalina Sky Survey නිරීක්‍ෂකයන් විසින් 0.68m තරම් වූ Schmidt-Cassegrain වර්ගයේ ටෙලෙස්කොපයක් මගින් සොයාගත් කැටාලිනා (Catalina) ධූමකේතුව (C/2013 US10) 2015 නොවැම්බර් මස 15 වැනිදා සිට සූර්ය සමීපයෙන් කක්‍ෂ ගතවේ. වසර මිලියනයක කක්‍ෂ කාලයක් අවසන් කරමින් පැමිණන මෙම ධූමකේතුව කිලෝමීටර 20ක පමණ වර්ග ප්‍රමාණයකින් යුක්ත වේ. 2015 නොවැම්බරය වන විට එහි න්‍යෂ්ථිය තත්පරයට කිලෝග්රෑම් 3000ක ප්‍රමාණයක් ඌර්ධවපාතනය කරන්නට පටන්ගනු ඇත.
2015 සැප්තැම්බරයේදී එහි දෘශ්ඨික විශාලත්වය 6ක් පමණ වූ අතර නොවැම්බරයේදී එහි උපරිම දෘෂ්ඨික විශාලත්වය වන 5ක අගයට ලඟාවනු ඇත. ද්විත්ව වලිගයකින් සමන්විත මෙය කොල පැහැති හිසකින් සමන්විතවේ. වලිගයේ දිග සාමාන්‍යයෙන් 800000km තරම් වනු ඇතැයි විශ්වාස කෙරේ. මෙය 46,400 m/s වේගයෙන් ගමන් කරයි.
 
 
එය දකුණු අර්ධගෝලය ආසන්නයෙන් ගමන් කරන්නේ පියවි ඇසට යාන්තම් පෙනෙන තරම් වූ ප්‍රමාණයෙන් වුවත් ටෙලෙස්කෝපයක් ආධාරයෙන් නිරීක්‍ෂණය කල හැක. ක්‍රමයෙන් උතුරු අර්ධ ගෝලය කරා සමකය හරහා ගමන් කරන බැවින් 2016 ජනවාරි මාසය වෙද්දී එඬේරා (Bootes) තාරකා රටාවේ දීප්තිමත්ම තාරකාව වන Arcturus හරහා ගමන් කරනු ඇත. එම කාලයේදී ධූම කේතුව සිය උපරිම දීප්තියට ලඟාවන අතර පියවි ඇසින් නැරඹිය හැකිවනු ඇත. 2015 දෙසැම්බර් මාසයේ 5 වැනිදා වන විට කන්‍යා රාශියේ Syrma තාරකාව ආසන්නයෙන් ගමන් තරන ධූමකේතුව 2016 ජනවාරි 6 වනවිට Arcturus තාරකාවට අංශකයක් පමණ ආසන්නයට පැමි‍ණේ. උදෑසන 5-6 කාලයේදී දර්ශනය වන මෙම ධූමකේතුව නිරීක්‍ෂණය ඔබට පහසු වනු ඇත.