Friday 21 June 2013

යුරේනස් සොයාගත් විලියම් හර්ෂෙල් - පළමු කොටස

ක්‍රිස්තු වර්ශ 1737-1822
ජර්මනියේ ඉපැරණි බ්‍රිතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු වශයෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රීමත් ෆෙඩ්රික් විලියම් හර්ෂෙල් විද්‍යාඥයා ලොව ප්‍රසිද්ධ වූයේ යුරේනස් ග්‍රහලොව සොයා ගැනීමෙන් අනතුරුවය. අධෝරක්ත විකිරණ යොදාගැනීම ඇතුළු තවත් දැවැන්ත සොයාගැනීම් මොහු විසින් ලෝකයාට දායාද කලේය.

දරුවන් දස දෙනෙකුගෙන් යුතු පවුලක උපත ලද මොහුගේ මුල් නාමය වූයේ ෆයිරිච් විලියම් හර්ෂෙල්ය. ජර්මනියේ හැනෝවර් ප්‍රදේශයේ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සේවය කල විලියම්ගේ පියා නිසා මොහු බෙහෙවින් සංගීතයට ප්‍රිය කලේය. මොහු සිය සොහොයුරා සමඟ පියාගේ අභාවයෙන් පසු හමුදා තූර්ය වාදක කණ්ඩායමට සේවය කල අතර මෙම කණ්ඩායම පසුව එංගලන්තය බලා යවන ලදී. එහිදී හමුදා සේවයෙන් ඉවත් වූ දෙසොහොයුරෝ ලන්ඩනය බලා පිටත් විය. තම නම ෆෙඩ්රික් විලියම් ලෙස වෙනස් කල ඔහු ඉතා ඉක්මනින් ඉංග්‍රීසි උගත්තේය. වයස අවුරුදු 19දී ඔහු දක්‍ෂ සංගීත ගුරුවරයෙකු විය. දක්‍ෂ වයලීන් වාදකයෙකු හා පියානෝ වාදකයෙකු වූ ඔහු කෙටි කලකින්ම එංගලන්තයේ බාක්වල සමූහ වාදන වල ප්‍රධානියා බවට පත්විය. 1772 වසරේදී ඔහුලේ සොහොයුරිය කැරලැයින් ඔහු සමඟ බාක් හි නව කිංසි පාරේ පිහිටි නිවසේ (දැන් එය හර්ෂල්ගේ තාරකා විද්‍ය කෞතුකාගාරය ලෙස හැඳින්වේ.) ජීවත් වීමට පැමිණියේය. ඇය දක්‍ෂ ඒකල ගායිකාවක් විය. ඔහුගේ අන් සොහොයුරන් වන ඩයිරිච්, ඇලෙක්සැන්ඩර්, හා ජෙකොබ් ද ඒ වන විට බාක් හි දක්‍ෂ සංගීතඥයින් ලෙස නමක් දිනා සිටියේය.
හර්ෂල්ගේ සංගීතයට වූ උනන්දුව ඔහුව ගණිතයට හා තාරකා විද්‍යාවට යොමු කලේය. මෙම ආශාව තවත් වැඩි දියුණු වූයේ 1773 වසරෙන් පසු ඔහු විසින් දුරේක්‍ෂයක් නිර්මාණය කිරීමෙන් අනතුරුවය. ඔහු විසින් හඳ නිරීක්‍ෂණය කරන අතරතුරදීම හඳේ කඳුවල උස මැනීමද සිදු කලේය. එසේම ඔහු විසින් ද්විත්ව තරු නාමකරණයක්ද එලි දක්වන ලදී. 1781මාර්තු 13 වන දිනය ඔහුගේ ජීවිතය වෙනස් කල දිනය වූයේය. ඒ ඔහු විසින් යුරේනස් ග්‍රහලොව සොයාගැනීම නිසාය. ජෝර්ජ් රජුට උපහාර පිණිස ඔහු එය ජෝර්ජ්ගේ තරුව ලෙස හැඳින්වීය. එම වසරේම ඔහු රාජකීය සංගමයේ සාමාජිකත්වය සඳහා යෝජනා වූ අතර කෝප්ලි පදක්කමෙන්ද පිදුම් ලැබීය. 1782 වසරේදී ඔහු රජුගේ තාරකා විද්‍යාඥයා ලෙස තේරී පත්විය. ඔහු විසින් දුරේක්‍ෂ කීපයක්ම නිපදවා හිත මිතුරු තාරකා විද්‍යාඥයින්ට විකුණු බව සඳහන්ය.


ලිපිය සකස් කර අපි දන්න අපේ කලාව වෙත ලබා දුන් අම්පාර පොලීසියේ සේවය කරන එච්. ආර්. අනුර බණ්ඩාර මහත්මයාට ස්තූති වන්ත වෙමි.

දෙවැනි කොටසට.......

No comments:

Post a Comment